Monday, December 14, 2015

මේඝ ගීතය


හිරිගඩු පුප්පන හුළග වෙලාවකට බිහිසුණු වුණත් කාන්සියෙන් පෙළෙන වෙලාවට නම් මිහිරි ගීතයක් වගේ දැනෙනවා.ඒ මිමිණිල්ල අස්සෙ ජීවත්වෙන, සහ මැරිච්ච මිනිසුන්ගෙ අපමණ රහස් අඩුවැඩි වශයෙන් හැංගිලා තියෙන්න පුළුවන්. මං ජනේලෙ ඇරල දැම්මා.ගෙම්බන්ගේ කඨොර සද්දෙයි, ජීවත්වෙන එකේ ඒකාකාරී වේදනාවයි අමතක කලාම ඇත්තටම මේක හරි සුන්දර රාත්‍රියක්.විවෘත කවුළුවෙන් බලන් ඉන්න කොට මට පේනවා දුර ආකාසෙ දිලිහෙන පුංචි පුංචි තාරුකා.සමහරක් සමූහ වශයෙන් බබළනවා.තව සමහරක් හුදකලාව දිලිහෙනවා. ඒත් මං වැඩියෙන්ම කැමති අරුන්දතී පහන් තාරුකාවට.ඒ එයා හුදකලාව බබළන හන්දාමත් නොවෙයි. හදෙන් බාගයක් වගේ පෙනෙන එයා හරිම ලස්සන නිසයි. එක අතකින් ජීවිතේට කණාමැදිරි එළියක් වත් නැතිවාට වඩා ඈතින් හරි තරුවක් පත්තු වෙන එකේ තියෙන වැදගත් කම කොච්චරද?
හුදකලාව ඇස් පියා ගත්තම මට දැනෙනවා කවුරු හරි මගේ හිස පිරිමදිනවා.ඇත්තටම ඒ කවුරු වෙන්න පුළුවන්ද? කෑලි කපන්න පුළුවන් ඝණ අදුරෙ මට කිසිවක් පේන්නෙ නැහැ.අඩවන් ජනේලයෙ පුංචි හිදසකින් තරුවකින් බාගයක් පේනවා.ඒ අස්සෙ නොපෙනෙන හුළග ඇගේ වෙලෙමින් දැඩි සීතලක් ගෙනෙනවා.සමහර නොපෙනෙන දේවල් අපට කොච්චර දැනෙනවද?ඒ වගේම අපිව කොච්චර වෙනස් කරනවද? මේක මම පුංචි කාලෙ අහපු කතාවක්.මහා කවි කාලි දාසයන්ගෙ මේඝ දූතය කාව්‍යයේ එන අතුරු කතාවක් විදිහට තමයි මම මේක අහල තිබුණේ.මිනිසුන්ගේ ජීවිතවල තියෙන සමහර රහස් කිසියම් දිනෙක සොබා දහම විසින් හඩ ගා කියනවා. ඒවා ඇතැම් විට දුක්බර අබිරහස් හෝ සුන්දර සිහින වන්නට පුළුවන්. ඒත් ඒක අහන මිනිසුන්ට කොයි තරම් දුරට තේරුං ගන්ට පුළුවන්ද කියන එකේ නං ගැටළුවක් තියෙනවා.
ඔන්න එකෝමත් එක කාලෙක දඹදිව හිටියා සංගීතයට ඉතාමත්ම ලැදි කුමාරයෙක්. ඔහු සංගීතයට කොයි තරම් නම් දක්ෂද කියනවනම් , බටනලාව පිඹින කොට අහසේ ඉන්න දෙව්වරු පවා ඒ දිහා බලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි දැහැන්ගත වෙලා වගේ ඒ හඩ අහං ඉන්නවා. ඒ තරම්ම ඒ ස්වරය මිහිරියි. එක් දිනක් මේ දක්ෂ කුමාරයා පුදුමාකාර හීනයක් දකිනවා.ඒ තමයි, ලෝකයේ අවසාන රටේ අවසාන ගම්මානයේ පිහිටි බට ගස් පිරිච්ච අදුරු කැළෑවකට එක්තරා දවසක එකවර තරු දහසක් පායන රාත්‍රියක් උදා වෙනවා.ඒක ඇත්තටම පුදුමාකාර ලස්සන රැයක්..ඉතින් අන්න ඒ දවසට මේ කුමාරයා ඒ සිහිනෙන් පෙන්වන ස්ථානයට පැමිණිය යුතු බවට ලස්සන සුරංගනාවකගෙන් පණිවිඩයක් ලැබෙනවා.... කුමාරයා මුලින් මුලින් සාමාන්‍යයෙන් අපි වගේම එතරම් හීනය පසු පස ගියේ නැහැ. ඒ වුණත් එහි චමත්කාරජනක බව සහ අපූර්ව සහගත බව ඔහුගෙ ඔලුවෙන් ඉවත් වෙලා ගියෙත් නැහැ.කොහොම කොහොම හරි පිට පිට දවස් කිහිපයක් එකම හීනය දැකීම නිසා අන්තිමට ඔහු තීරණය කළා ලෝකයේ අවසන් රට සොයා ගෙන යන්න.ඒ ගමන ඔහු යා යුත්තෙ තනිවම.හීනෙන් ආ සුරංගනාව කුමාරයගෙ ආදරණීය අශ්වයට කණට කරල පියවරෙන් පියවර යන පාර කියල දුන්නා. ඒ දිව්‍ය හඩ අශ්වයට ආවෙ හීන් හුළගක කෙදිරිල්ලත් විදිහට වුණත් එයාට ඒ විස්තරය පාර හොයා ගන්න තරම් බොහොම පැහැදිලි සහ නිරවුල් එකක් වුණා. දැන් මේ දෙන්නා කදු, හෙල්, තැනි තලා මැදින් නුහුරු නුපුරුදු දුරු රටකට යනවා.ඔහොම සති දෙකක් විතර ගියාට පස්සේ කුමාරයට හීනෙන් පෙනිච්ච රටට එන්න පුළුවන්කම ලැබුණා.හැබැයි මේ රටේ ඔහු ටික දිනක් නවතින්න සිද්ධවෙනවා.මොකද හීනෙන් ඇවිත් සුරංගනාව නැවත දැනුම් දෙනතුරු ඔහුට බට කැළෑවට යන්න තහනම්.
කුමාරය නවතින්න තැනක් සොයමින් මේ අපූරු ගම පුරා ඇවිදිනව.ඒක හරි ලස්සනයි. ඒ වගේම පාළුයි.ඒත් කෙළවරේ කන්දක් උඩ ලස්සනම ලස්සන පුංචි පැලක් තියෙනව.ඒ පැලේ ඉන්නෙ වයසක අම්ම කෙනෙකුයි රූමත් දියණියකුයි.මේ දියණිය මායාකාරියක්.ඒ වගේම සංගීතයට බොහොම දක්ෂ කෙනෙක්.ඉතිං අපි අහල තියෙන අනෙක් සුරංගනා කතාවල වගේම කුමාරය ව බොහොම සාදරෙන් පිළි අරං නවාතැන් දෙනවා.ඒ වගේම ඇයට ඔහුගෙ ආදරයත් කෙටිකාලයකින්ම හිමි වෙනවා.හැබැයි මේ කුමාරිය සාමාන්‍ය මනුෂ්‍ය දුවක් නම් නොවෙයි.මායාකාරියක්. උඩින් නොපෙන්වුවත් ඇයගෙ අභ්‍යන්තරයෙ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ අමුත්තාගේ හදිසි පැමිණීම ලැන උපන් සැකය.ආදරය මගින් ප්‍රෙයා්ගකාරීව හේතු දැනගන්න උත්සහ කළත් ඇයට කිසිවක් දැන ගන්න ලැබෙන්නෙ නැහැ.ඒ කුමාරයා සුරංගනාවියට වූ පොරොන්දුව කඩ කරන්න තිබිච්ච අකමැත්ත හන්දයි.
ඉතිං ඔහොම දින කීපයක් ගෙවිලා යනවා.කුමාරයා ගමට ඇවිත් ගෙවිච්ච හත්වෙනි දවසෙ මධ්‍යම රාත්‍රියෙදි සුරංගනාවිය එක්වරම හීනෙන් පෙනී ඉන්නවා.ඇය කියනවා ඔහු තව දින දෙකකට පසු එළඹෙන බුධ දිනයේ මධ්‍යම රාත්‍රිෙය්දී බට කැළයට ආ යුතු බව.තාරකා ඔහුට මග පෙන්වන බවත් මේ ගමන සදාකාලික රහසක් විය යුතු බවත් ඒ පණිවිඩයෙන් වැඩිදුරටත් කියවුණා.ඉතින් ඔන්න කුමාරයා ඒ කිව්ව දිනයේ තාරකා වලින් පාර අසාගෙන ගමන යන්න පිටත් වුණා.අන්තිමට ඔහුට මුණ ගැහෙනවා නිල්ම නිල්පාට බට කැලෑවක්.ඒක හරි ගුප්තයි.නිහඩයි.ඒ වගේම ලස්සනයි.ඔහු ඇදින ගන්නවා ඒ හීනෙන් දුටුව බට කැලෑව කියලා. ටික වේලාවකින් මුලු අහසම ඒකාලෝක වෙනවා.ඒ තමයි තරු දහසක් පායන ලෝකෙ තියෙන සුන්දරම රාත්‍රිය.ඒ වෙලාවේ සුරංගනාව පෙන්වන හුදකලා නිල් පාට බට පදුරෙන් දණ්ඩක් කඩාගෙන කුමාරයා පිඹින්න ගන්නවා.ඔහුට එතනදි දායාද ලැබෙනවා මේඝ ගීතයනම් මේ ලෝකයේ තියෙන මිහිරිතම ස්වරය වැයීමේ භාග්‍යය.හැබැයි හැම භාග්‍යයකට පස්සෙම උදාවෙන අභාග්‍යයක් තියෙනවා.ඒ තමයි කීර්තිමත් අවස්ථාවකින් පසු නොගැලපෙන මිනිසුන් අප පසු පස හඹා ඒමේ ශාපය.මේ සිද්ධාන්තය කුමාරයටත් ඒ විදිහටම බලපෑවා. කුමාරයා නොදැන උන්නට අර ගෙදර හිටපු මායාකාර දියණිය ඔහු පසු පස ඇවිත් මේ සියල්ල බලාගෙන හිටියා.ඇය ට ඕන වුණේ හැමදාම හැම දෙයින්ම පළමුවැන්නා වෙන්න.
එකපාරටම අර තරු දහස නිවිලා සියල්ල සාමාන්‍ය තත්වයට පත්වුණා.මේ සිදුවීම තව කෙනෙක් දුටුව බව දැකල සුරංගනා බැල්මත් ඒ එක්කම නිසල වුනා. දැං කුමාරයා අදුරු වනයේ තනි වෙනවා. එයාගෙ හිතට දුකක් දැනුනත් එයා ඒ ගැන වැඩිදුර හිතන්න ගන්නෙ නැහැ.ජයග්‍රහණයකදී දැනෙන සාමාන්‍ය මත් බවත් එක්ක එයා අර හීං බට දණ්ඩ අරන් හෙමීට පිඹිනවා.එතකොට වාදනය වෙන්නෙ ලොව මිහිරිතම තනුව.ඒ තමයි මේඝ ගීතය.ඒ තනුව වැයෙන කොට අහසෙ නිල්පාට වළාකුළු සේරම ගැබ්බර වෙනවා.ඒකෙන් කැලැව තව තවත් අදුරු වෙනවා.නිල්පාට බට ගස් සර සර ගාලා සීතල සුළගින් හෙලවෙනවා.මේ සියල්ල දැකලා අනුන්ට හිමි විචිත්‍රත්වය තව දුරටත් දරා ගන්න බැරිව අර මන්තරකාර දියණිය බටනලාව හොරකන් කරන් කුමාරයව මරා දානවා.මරලා එයා කුමාරයගෙ මිනිය මන්තර බලයෙන් අරන් යනවා එයාගේ ගේ ළග තියෙන කදු මුදුනට ගිහං අශ්වයවත් මරනවා.මේ දෙන්නගෙ මලමිනී වලලන්නෙ කදු මුදුනෙ තිබුණු පුංචි ම පුංචි බට ගහක් පාමුල.ඊට පස්සෙ බොහෝ රාත්‍රී කාලවල මායාකාර කුමාරිය අර හොරකං කරපු බට නලාව අරං අරුම පුදුම බට කැළෑවට යනවා. එයා නිල්පාට හුදකලා බට පදුර ගාවට වෙලා බටනලාව වාදනය කරන්න පටන් ගන්නවා.ඒත් ඒ හැම දවසකම බට නලාවෙන් එන්නෙ වාදනයක් නොවන , පුහ් ...වගේ එක් අමිහිරි ශබ්දයක් පමණයි...මේ වෙලාවට අහසෙ එකදු තරුවක් වත් පායන්නෙත් නැහැ. පරිසරය දැඩි අදුරු සහ මූසල බවකින් පිරිලා. ඇය කණස්සල්ලට පත්වෙනවා.
දැන් මේ සිදුවීම් වෙලා දිගු කලක් ගෙවිලා ගිහින්.අර කුමාරය වළදාපු තැන බට පැලේ ලොකු බට පදුරක් වෙලා.ඒ බට ගහේ කොළවල තියෙන්නෙ දීප්තිමත් නිල් පාටක්.ඒ බට දඩු හැන්දෑ හුලගට එකට වදින කොට වාදනය වෙන්නෙ ලෝකෙ ලස්සනම තනුව...ඒක තමයි මේඝ ගීතය...
මේ අතරෙ කුමාරයා හොයන්න කුමාරයගෙ රටින් දූතයෝ කණ්ඩායම් වශයෙන් බෙදිලා ලෝකෙ හැම තැනම ඇවිදිනවා.ඒ ඇවිදින කොට ලෝකෙ අවසාන රට අහම්බෙන් වගේ ඔවුන්ට හමු වෙනවා. ඒ තමයි මේ අපූරු රට.ඒ වගේම අර අපූරු ගෙදරත් ඔවුන්ට මුණ ගැහෙනවා.එහි ඉන්නවා අර ලස්සන එහෙත් මායාකාර තරුණිය.ඇය ඉන්නෙ වියරුවෙන් මෙන් බට නලාවක් පිඹිමින්.ඒත් නිකුත් වන්නෙ පුස් ශබ්දයක්.මේ එන දූතයන්ට කොපමණ වෙහෙසුනත් කුමාරයා ගැන කිසිම ආරංචියක් ලැබෙන්නෙ නැහැ.ඔවුන් හරිම කණස්සල්ලෙන් ඉන්නකොට එකපාරටම ඇහෙන්න ගන්නවා මිහිරි වාදනයක්.ඒ වාදනය තමයි ලොව මිහිරිතම බටනලා වාදනය.එවැන්නක් කල හැක්කේ තමුන්ගෙ කුමාරයට පමණක් බව දන්න දූතයො දෙන්නා කන්ද මුදුනට ඇවිදං යනවා.එතකොට ඔවුන් දකිනවා දැවැන්ත බට පදුරක් ලතාවකට හුළගට වැනෙනවා.ඒ බට කොළ හා දඩු වැලපෙමින් කිසියම් කතාවක් තමන්ට කියන බව එක් නුවණැති දූතයෙක්ට වැටහෙනවා.ඔහුට ඇති වූ යම් සැකයක් මත අර මායාකාර ස්ත්‍රියව ප්‍රශ්න කරනවා.අවසානයේදී වී ඇති ඛේදවාචකය වටහා ගෙන ඉතාමත්ම දුකෙන් ඒ රටෙන් නික්ම යන්නෙ සිහිවටනයක් විදිහට අර බට පදුරෙන් දණ්ඩකුත් අරගෙන.
ඉතිං අද දවස වෙද්දි ඕනම රටක , ඔනම තැනක මේ බටගහෙන් ඉපදුණු ගස් අපට දකින්න පුළුවන්.තද හුළගට ,මද හුළට ටිකක් කන් දීල ස්වභාවික විධානයන් ළග නතරවෙන්න තරං විශ්‍රාමයක් ආත්මය පතුලෙ ඉතිරිවෙලා තියෙන වෙලාවක අපටත් අහන්න පුළුවන් මේ මේඝ ගීතය.. මේඝ ගීතයෙන් ඇත්තටම අපිට කියන්නෙ මොනවද?
හීන පසු පස ලුහු බදින්නන් කිසිදා තාරුකා එළි විස්වාස නොකළ යුතු බව සහ ආගන්තුක ලෝකයකදී ආදරයෙහි අන්ධ වීම වඩාත් භයානක බව.නිල් වළාවක් අදුරු ඉතිහාසක් එක්ක ගැබ්බර කරන්න පුළුවන් වෙන්නෙ තද හිරු එළීයට අවනත වීමේ ආත්ම ධෛර්යයක් තියෙන දිය බිදුවකට විතරයි. පොලවෙන් වාෂ්පවෙලා ,අහසින් කඩා වැටීම දක්වා වූ බිහිසුණු ක්‍රියාවලියකට මුහුණ දීල වැස්සක් විදිහට පොළව තෙමන්න පුළුවන් වෙන්නෙ මෙන්න මේ විශාල ඉවසීම සහ දරා ගැනීම කියන සංකල්ප දෙක ඇතුලෙ තියෙන වේදනාවටයි. .ඒ වගේ මහා දරා ගැනීමක් , වේදනාවක් සහ ධෛර්යයක් තියෙන අයගෙ රිද්මය හොරකං කරන්න හිතාගෙන සැකිල්ල මහපොළවෙ වළදැම්මට, ඒ ශක්තිය සදාකාලිකව යටපත් කරන්න කවදාවත් කාටවත්ම බැහැ. මියගිය තරුවක, මිලාන මලක, අහංකාර සුළගක හෝ කිළිටි දියබිදක ආත්මයක් ඇතුළට රිංගලා අලුත් කට හඩකින් කාටවත් නොකී රහසක් ලෝකෙට එළි කරන්න මේ අයට කවදාක හෝ පුළුවන්.කෙටියෙන් කිව්වොත් මිනිස්සු ස්වභාවිකත්වය දරා ගන්න තරමට මේ ලෝකෙ රහස් අඩුයි.


සර්පයාගේ දියණිය

No comments:

Post a Comment