Monday, December 14, 2015

ගෙදර බල්ලාටත් පොලිස් බල්ලාටත් මරණ දඩුවම දී
කොණ්ඩයා වහාම නිදහස් කරනු..



සේයා අපිව දාල ගිහින් දැන් ටිකක් දවස්. ඒත් ඒ සිදුවීමෙ උණුසුම තාමත් එහෙමමයි. මං අද නිකමට නෙට් එකේ කරක්ගැහුවා.වෙබ් එකෙන් පරණ පත්තර ටිකත් සේරම බැලුවා.ක්‍රමිකව බලනවට වඩා යම් සිදුවීමක් අවසන් වුණාම ඒක දිහා හැරිල බලද්දි දැනෙන විදිහ තරමක් වෙනස්.. තේරුමක් නැතිව යම් සිදුවීමක ඉතිහාසය පුළුල් කරන එක තරමක් බරපතල කාරණයක්.ඒවයෙ ආනිසංස මත මේ වෙන කොට සිවිල් ජීවිත කිහිපයක්ම නිරපරාදෙ අවුල් වෙලත් ඉවරයි. 
සේයා සදෙව්මී අප්ඩේටස් 01/02/03 සිට 19 දක්වා. හරියට සුජීව ප්‍රසන්න ආරච්චිගෙ පොත් වගේ. නිතර පැටව් ගහනවා. මාධ්‍යය තමන්ට විකුණන්න පුලුවන් ඒවා මිල ප්‍රභේදනයක් සහ ප්‍රවෘතිමය විශේෂීකරණයක් සහිතව විකුණනවා.චැනල් එකෙන් චැනල් එකට එකම පුවත චුට්ටක් විතර වෙනස් වෙන්නෙ ඔන්න ඕකයි. බරපතල ලිංගික අපයෝජනයක් කිව්වම, ඒකෙ වීඩියෝ එක කොටුදාල පෙන්නුවම සාමාන්‍යෙයන් කට්ටිය ඒ චැනල් එක බලනවා වැඩියි..
සේයව විකුණන්න පුලුවන් හේතු කිහිපයක්ම තිබුණා.පලමු වැන්න තමයි මාකට් කරන්න පුලුවන් නමක් තිබීම, දෙවැන්න ඊට සරිලන රූපයක් තිබීම, තුන්වැන්න තලු ගගහ විස්තර කරන්න පුලුවන් තරමට අපයෝජනය වී තිබීම.මෙන්න මේ කාරණා තුන එක්ක දරුවගෙ මිනිය විකුණන එක මාධ්‍යයට ඉාම පහසු දෙයක් වුණා.මීට සමකාලීනව වෙච්ච දරුවන්ගෙ මරණ ඉබේ යට ගියා.නොහිතූ විදිහට සේයාව ඉස්මතු වුණා.මේ සියල්ල සිදුවුණේ මාධ්‍යවල පුවත් මැවීම කියන කාරණේ හරහා. මිනීමරුවා හමු වෙනකල්ම මොකක් හරි ලියලා මිනිසුන්ගෙ අවධානය සිදුවීම තුළ රදවගන්න ඕන කියන තැනක මාධ්‍ය හිටිය.පහු ගිය සති ගාණෙම කාගෙත් කටේ තිබුණෙ සේයා. සමහරු ඇත්තටම මේ සිදුවීම ගැන කම්පා වුණත් තවත් සමහරු ඒ අපරාධය අහලා හිත යටින් සතුටක් වින්දා.සේයාගේ ගෙදර වටේ රැස් වෙච්ච අය අතරෙ එහෙම අයත්, ප්‍රචණ්ඩවෙන්න අවස්ථා හොය හොය හිටපු අයත්, පුද්ගලික කෝන්තර පිරිමහගත්තු අයත් හිටියා.මේ සිවිල් අරගලයෙ පෘත්ග්ජන විලම්භීත භාවය නැවත නැවතත් අලවි කරන්න මාධ්‍යය නිර්ලෝභීව කටයුතු කළා.
දැං අපි මේ සිද්ධියෙ මුලටම ගිහිං බලමු.ගෙදර බල්ලාට බුරන්න අමතක වීම කියන කාරණාව ගත්තම ඉතාම බරපතල එකක්.මොකද පාරෙන් කෙනෙක් ගියත් නිතර බුරන බල්ලෙක් එදා නොබිරීම.මිනිසුන්ට තමුන්ගෙ දරුවා අරන් ගියත් ඇහැරුනේ නැති එක පිලි ගත්තත් සතුන්ගෙ චර්යාවන් එහෙමත් වෙනස් වෙනවද කියන එක.එහෙම නැත්තං මේ සිද්දිය පුරාම හමු වෙච්ච අනෙක් බල්ලො වගේ මේ බල්ලත් එදාම දඩාවතේ ගියාද කියන කාරණේ උපකල්පනය කලොත් මිසක් ගෙදරම කෙනෙක්ට සැකය යොමු වෙනවා.ඒ වගේම පොලිස් බල්ලා ඉස්සරහ දොරෙන් ගිහින් පිටිපස්ස දොරින් ඇවිල්ලා. (ඒත් කොණ්ඩයා පිටුපස දොර පාවිච්චි කරලා තිබුණෙ නැහැ.) ඉතිං මේ බල්ලො දෙන්නා කල බලු වැඩේ නිසා මුලින්ම සැකය යොමු වුණේ සේයාගේ තාත්තට.ඒක පාවිච්චි කල ජනමාධ්‍යය තාමත් ඔප්පු නොවුණු චෝදනාවක පැටිකිරිය අවුස්සලා ඒ මනුස්සයා බිමට චප්ප කොළා මදිවට දරුවගෙ මිනියට පස් මිටක්වත් දාන්ට බැරි විදිහට මිනිස්සු කුලප්පු කරලා ඒ කුලප්පුවත් පෙන්නලා හම්බකලා.
ඒත් ටික දවසක් ගියාම තාත්ත නිවැරදි බව ඔප්පු වෙනවා.දැන් පොලිසිය කොර වෙනවා.මේ අතරෙ විරාමයෙ මාධ්‍යයට විකුණන්න දෙයක් නැති වෙනවා.ඉතින් පුවත් මවනවා.අම්මගේ හොර මිනිහා...සීයා...ඉතින් මේ සංසිද්ධි අවකාශීය ප්‍රවෘතින් ඩබල් ත්‍රිබල් වෙලා ලංකාව පුරහම කටින් කට යනවා.දැං කුලප්පු වෙච්ච එවුන්ගෙන් බේරිල්ලක් නැති තැන උන්ව සනසන්න කවුරු හරි අත්අඩංගුවට ගන්න පොලිසියට සිද්ධ වෙනවා. අපිට ඉවසන්න බෑ.කවුරු හරි ගනිව්.. කට්ටියක් කෑ ගහනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරන්නෙ මේ නාටකේ පොතේ ගුරාගෙ භූමිකාව.එයා විටින් විට අනුමානිත සැනසිලි වාක්‍ය මාධ්‍යයට දෙනවා.ගෙවල් හැර ගිය පවුලක් සැකයි කියලා එක වෙලාවකදි කියවා. ඒකත් හිටි ගමං යට යනවා .සැප්තැම්බර් දහ අටවෙනිදා ගොසිප් ලංකා එකෙන් එළිකරනවා අවුරුදු 17 කොල්ලෙකුයි 32 අසල්වැසියෙකුයි සැක බව.ඒකට ගොන් බජ්ජා කියල එකෙක් කුළුදුලේම කමෙන්ටුවක් දානවා .පියා සැකයි කියා පල කළ එවුන්ට හෙනම ගහපන්..මුන්ට පුදුම තදියමක්නේ තියෙන්නේ. කියල. ඊට පස්සෙ අනෙක් එවුන් 17 කොල්ලට දෙස් දෙවොල් තියනවා.දැන් සේයගෙ තාත්තව අමතකයි.මීඩියා වලිනුත් දැං වැඩියෙන්ම විකුණන්නෙ තිස් දෙකේ එකාව නෙමෙයි.17 කොල්ලව.මොකද කොල්ලගෙ ලැප් එකේ බ්ලූ තිබ්ච්ච එක විකුණන්න පහසුවක්. දැං උන් දෙන්නට මාංචු දාලා අරන් යනකොට මිනිස්සු අයෙත් කුලප්පු වෙලා. මාධ්‍යකාරයෝ ටික ඒ කුලප්පුවත් වීඩ්යෝ කරලා දානවා.ඉතිං ටික දවසක් ඔය නාඩගම ඔහොමම යනවා.ඊට පස්සෙ මේ සිදුවීම අරබයා පිකටින් කරන එකත් කලාවක් වෙනවා.හැමෝම කරන හන්දා අපිත් කරමු කියලා ටෙලි නිලියොන්ගෙ සංගමය, කුඩු කාරයන්ගේ සංගමය, ගණීකා සංගමය ඔක්කොම ලේස්ති වෙනවා.මොකද මේ රැල්ල ඇතුලෙ උද්ඝෝෂණේ නොකලොත් ටිකක් හරි මදි වගේ වෙනවා. ඒ උද්ඝෝෂණ ටික නිසා පොලීසියෙ නිහඩ වෙලා ඉන්න වකවානුවෙ මාධ්‍ය තම තමන්ගෙ රික්තක පුරවගන්නවා.ඒත් පොලීසියට 17 කොල්ලව මාට්ටු කරන්න බැරි වෙනකොට මාධ්‍ය කාරයෝ සෙට් එක වෙන පැත්තකට සිද්ධිය හරවනවා.
සදෙව්මිගේ ඝාතකයා වෙනත් අසල්වැසියෙක් බවට සැකයක්.
17
සිසුවා සම්බන්ධ බවට තවමත් සාක්ෂි නැතිලු.
සේයාගේ මවගේ දුරකථනයත් නිවසේදී නැතිවෙලා
(
සැප්තැම්බර් 22- හිරු ගොසිප්)
දැන් අපිව ආයෙත් හොල්මන්.හරියට කණා මුට්ටි සෙල්ලමේදී වගේ ඇස් බැදලා කරකෝලා අතාරිනවා වගේ වැඩක්නෙ මේක .එතකොට මේ ගම පුරාම ඉන්නෙ වලත්තයොද.වලත්තයො ඉන්න මේ වගේ ගමක දොර ජනෙල් ඇරන් ඉන්න තරං විස්වාසයක් ගොඩ නගා ගන්න පුලුවන් වුනේ කොහොමද සේයගෙ අම්මලට.අපිට එහෙම හිතෙන්න ගන්නවා. කොහොමින් කොහොම හරි දාහතේ කොල්ලගෙයි අනෙක් මනුස්සයගෙයි ජීවිතේ විනාස කරලා පස්සෙ කට්ටිය ගානක් නැතිව කියනවා ඌ නෙමේලු.ඊට පස්සෙ මාධ්‍යය පටන් ගන්නවා අර 17 කොල්ලගෙ කදුලු විකුනන්න.ඒ දරුවගෙ අම්මා දෙයියන්ට පාන තියන එකේ ඉදන් පෙන්වනවා .පළාතක් ගිණිතියලා කෑල්ලක් කරේ ගහන් ආපු හනුමගෙ අවතාරෙ වගේ පහළ වෙච්ච පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙන්න මෙහෙම කියනවා.කොල්ලා ඝාතකයා නොවුණත් අත්අඩංගුවට ගත්තු හේතු බරපතලයිලු.කොල්ලා ගාව සේයගෙ ෆොටෝ එකක් තිබුණලු..බිලූ ෆිල්ම් 300ක් තිබුණලු.ඒකට වෙනම නඩු දාන්න පුලුවන්ලු.ඒ බකතරි මූණට මට අප්පිරියා හිතෙනවා.ඕව කියහං උඹෙ...ඉතිං එයා ස්ක්‍රීන් එකෙන් චුත වෙනවා.ඒත් එක්කම සාරි ඇදපු ලස්සන නංගි කෙනෙක් ඇවිත් නලවලා කියනවා අපි ඉක්මණට අපරාධ කාරයා හොයලා දෙනවා කියලා.එයා එහෙම කිව්වම ඉතිං අයියලට නං පිලිගන්නම වෙනවා.
හැබැයි දැං කොහොම කිව්වත් මේ දරුවා නිවැරදියි කියල පිලිගන්න සූදානම් නැති පිරිසක් මාධ්‍ය විසින් නිර්මාණය කරලා ඉවරයි.තවමත් සේයගෙ තාත්තට එළියට බහින්න බැරි පසුබිමකුත් හදලා ඉවරයි.ඔන්න ඊට පස්සෙ මාධය දීපු අළුත් ලණුව දිගේ අපේ කට්ටිය ආයෙමත් නගින්න පටන් ගන්නවා.මෙච්චර මහජන අවධානයක් තියෙද්දි ‍ෆෝන් එක මිදුලට දාල යන්න පුලුවං කාටද? ඔය අම්මට හොර මිනිහෙක් ඇති...මට ඇහුණා කෝච්චියෙ ඇන්ටි කෙනෙක් එහෙම කියනවා.ඕක ඔය ගෑණීගෙ දෙවෙනි කසාදෙ..මිනිහගෙ නෙමේලු දරුවා..සේය බඩට ඇවිල්ල තියෙන්නෙ මිනිහ රට ඉන්දැද්දි..ඒ තවත් එක්කෙනෙක්...දැං මටත් මේක හරියට අච්චාරුයි, කිරි පැණියි ,ෆෘට් සැලටුයි එකට දාං කෑවා වගේ.අමු කැද හැලියක්.වෙනදා ටී.වී නොබලපු මාත් දැන් ප්‍රවෘත්ති බලනවා.හැමදාම ගොසිප් බලනවා.ටික දවසක් මීඩියා කාරයෝ සද්දක් නැතිව හිටියා.ඒත් 17 කොල්ලා තාමත් ඇතුලේ.
සැප්තැම්බර් - 24 ( Gossip Lanka News)
සේයා සදෙව්මි දූෂණය කර ඝාතනය කර ඇත්තේ අයිය මලෝ දෙදෙනෙක්.
වනචාරී දුනේෂ් කැළෑවකදී කොටුවෙයි. 
මේ නිවුස් එකත් එක්ක ආයෙත් කට්ටිය ඇවිස්සෙනවා.හප්පේ දෙන්නෙක් එක්ක කරල තියෙන්නේ.සමහරු ඒක කියවන්නෙ යටි හිතේ කුරිරු කම හංගගෙන.ඊට පස්සේ එකපාරටම මිනීමරුවා හම්බෙනවා.(සහෝදරයා කතන්දරයෙන් හැලෙනවා) ඌ කිසි කරදරයක් නැතිව සේරම වමාරනවා.දැන් කට්ටිය එක්ක උගේ පාපොච්චාරණය විකුණනවා.
සාමාන්‍යෙයෙන් ලංකාවෙ පොලීසියෙත් එක විදිහක් තියෙනවා.ඒ ටිකක් විතර හොයා ගන්න අමාරු කේස් වලදි සහ ලොක්කෙක් ඒකට ගෑවිලා ඉන්න අවස්ථාවලදි. ඉතින් ඒ වගේ වෙලාවලට මෙතනදි කලා වගේම සිද්ධියට සම්බන්ධ නැති දෙතුන් දෙනෙක්ගෙ ජීවිත විනාස කලාට පස්සෙ එක පාරටම හරිම එකා කියලා එකෙක් කරලියට ගේනවා.ඌ කිසිම ගේමක් නැතිව සේරම කියනවා.අර නිශාදි බුද්ධිකා මැරිච්ච වෙලාවෙ වඩේ සුදා, මාතලේ වලව්වෙ නදීෂගෙ එකට අල්ල ගත්ත හොරා ( අඩි හයක් කිලෝ 70ක් බර නදීෂව කැහැට්ටෙක් උස්සන් ගිහින් ගේ ඇතුලටම ඇවිත්) මේ පර්යේෂණ වල ඇත්තටම තියෙනවා මායා යථාර්ථවාදී ලක්ෂන.
දැන් දිගින් දිගටම කොණ්ඩයව විකුනන් කනවා. ඌට අම්බානකට නෙලපු හන්දා වහං යනකොට ඒකට තව කට්ටියක් කෑගහනවා.අරූව වැහුවෙ නෑ ඒ හන්දා මූවත් ඇරල පෙන්නන්න කියලා.ඒත් මේ අප්ඩේටස් කියවනකොට මට කොණ්ඩයා ගැන දුකක් ඉතිරිවෙනවා.මේ ගෙදරට නිතර ආව කෙනෙක් නෙමේ නං, මූ වනචාරියෙක් වගේ එකෙක් නං කවදාවත් බල්ලෙක් නොබුර ඉන්නවද?හරි උගේ ඉවේ මොකක් හරි අවුලක් කියමු.ඒත් ඌට එහෙම ඉන්න වටිනවද? දෙවනි කාරණේ මූ සිද්ධිය වුණදා ඉදන්ම අතුරුදන් නම් සේයගෙ අම්මගෙ දුරකථනය ගත්තෙ කවුද? අනෙක අපරාධ කරුවගෙ අවයව තුවාල වේන්න ඕන කියල පොලිසිය නිගමනය කළත් එහෙම තුවාලයක් පේන්ටත් නොමැති වීම. තුන්වෙනි එක තමයි කොණ්ඩයා ඉස්සරහ දොරින් ඇතුල් වෙලා ඉස්සරහ දොරෙන්ම පිටවෙලා කෙලින්ම කැලේට ගිහින් තියෙද්දි පොලිස් බල්ලා ඉස්සරහ දොරින් ගිහින් මීටර් සීයක් විතර කරකැවිලා පිටිපස්සෙ දොරින් ආයෙත් ආපු එක.
* * *
දැං මං කෝච්චියෙ. කොළඹ යන ගමං.සමහර වෙලාවට මං ගමන අතර තුර පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙනවා.එතකොට එකම කතාව විවිධ විදිහට ඇහෙනවා.දැං හැමෝම කොන්ඩයට ශාප කරනවා.මම කණුවක් අල්ලං හිටගෙන බාගෙට නිදියං ඉන්නවා.හිටිගමං ඉදගෙන හිටි මහත ඇන්ටි කෙනෙක් පස්ස එහෙට මෙහෙට වකුටු කරලා මාව පුංචි ඉඩකට රිංග ගන්නවා.එයා සේයා ගැන කතා කරන්න ගන්නවා.එයාට හිතෙන සේරම කියලා ඉවර වුණාට පස්සෙ දැං එයා මගෙන් මෙන්න මෙහෙම අහනවා. දුවට කවුද සැක එතකොට...මං ඉතිං ටිකක් විතර කල්පනා කරනවා...
මට නං බල්ලො දෙන්න සැකයි..එකෙක් සිවිල් බල්ලෙක්..අනෙකා පොලිස් බල්ලෙක්..මේ දෙගොල්ලො එකම තීන්දුවකට එන අවස්ථාවල මොකක් හරි හොරයක් තියෙන්න පුලුවන්...සිවිල් බලයයි පොලිස් බලයයි එකට එකතු වෙන තැන අනිවාර්යයෙන් අපරාධයක්නෙ ඇන්ටි.කොණ්ඩයා අනිවාර්යයෙන්ම නිදහස් වෙන්න ඕන.බල්ලො දෙන්නා වෙඩිතියල මරන්න ඕන.
ඇන්ටි කම්මුලකට අතගහන් මගේ දිහා බලන් ඉන්නවා.දැන් කෝචිචිය මරදානෙ...


-          සර්පයාගේ දියණිය- 

No comments:

Post a Comment