Monday, December 14, 2015

අන්තර්ජාතික සිනමා උළෙල එකළු කළ අරුන්දතී පහන් තරුව
ස්වරූපය - වෘතාන්ත 
අධ්‍යක්ෂණය - ඉන්දික උඩුගම්පොළ
ධාවන කාලය - විනාඩි 82
රැය තවම තරුණයි - The Night is Still Young



ඔන්න එකමත් එක රටක හිටියා හරිම ලස්සන ඒ වගේම පුදුමාකාර මිහිරි කටහඩක් තියෙන කුමාරිකාවක්. ඒ කුමාරිකාවගෙ හිස කෙස් තඹම තඹ පාටයි.ඒ වගේම එයාගෙ කම්මුල් රෝස පාටයි. ඇස් දෙක නිල්පාටයි.කදුලු පිරිච්ච හන්දා ඒ ඇස් හැන්දෑවට වීදුරු වගේ දිලිසෙනවා. හරියටම එයා බෝනික්කෙක් වගෙයි. ඒත් එයාගෙ නිල්පාට නලියන ඇස්වල තිබුණා මොකක්දෝ නොකියන කතන්දරයක්. අවාසනාවකට අපිට ඒක කියවන්න සිද්ධ වෙන්නෙ අපිට ඕන විදිහට...හැම සුරංගනා කතාවකම වගේ මේ කුමාරිටත් කුමාරයෙක් ඉන්න ඇති. ඒත් කුමාරයයි කුමාරියයි අතරට යම් කාලෙකදි ශාපයක් එන එක ඉතිං සුරංගනා කතන්දරවල නියතියක්නේ.ඉතිං පැහැදිලිව හොයා ගන්න බැරි පළමු කතන්දරය අවසානයේ මේ ලස්සනම ලස්සන කුමාරිකාව අතරමං වෙනවා.ඇය ඉන්නේ බිදුණු සිතකින් සහ වැටුණු මනසකින්.ඒත් ඇයට නොබිඳුණු සිහිනයක් තියෙනවා. ඒ තමයි ශාස්ත්‍රීය ගායන ශිල්පිණියක් වීම.
ඔන්න ඉතිං පළවෙනි ශාපයෙන් මිදෙන්න උත්සහ ගනිමින් ඉන්න කාලෙදි එයාට මුණ ගැහෙනවා අමුත්තියක්.එයා වෘතියෙන් මස් වෙළෙන්දියක්. ඇයත් කලක පටන් ශාපයක් නිසා නිහඩ වෙලා.ඇගේ හදවත ගැහෙන එක නතර වෙලා.ගල්වෙලා. එයා දැනට දන්නෙ‍ෙ මරපු ඌරො පෙති කරන්න විතරයි. ඒත් ඇගේ හදවතේ මැරිච්ච පැත්තක හැංගිච්ච සෞන්දර්යයක් තියෙනබව දැනෙනවා .ඒක අවදි කරන්න පුලුවන් වෙන්නෙ කුමාරිකාවකගෙ ආදරය ලැබුණොත් විතරයි.ඉතිං අහම්බෙන් හම්බවෙලා..කාලයක් ගිහිං..මේ දෙන්නට දෙන්නා කතාකරන්න ගන්නවා.මුලින්ම ඇස් වලින්..ඊට පස්සෙ හදවතින්..ඊටත් පස්සෙ වචන වලින්..මට වෙලාවකට හිතෙනවා බැදීමක් අස්සට වචන ආවම ඒ බැදීම කුඩු පට්ටම් වෙනවද කියලා.මොකද වචන කියන දේවල් ගොඩක් වෙලාවට අනිර්වචනීයයි.කාලයට වගෙම අවස්ථාවට අනුවත් වචන සාපේක්ෂයි.ඒ වගේම තමයි වෙනස් වුණොත් ප්‍රතිඵලය භයානකයි.
කිසි වග විභාගයක් නැතිව වටේ යන හුළග ගැන නිශ්චිත මානයක් හොයන හුළං පෙත්තකට මුහුණ ලා මේ දෙන්න මේ දෙන්නගෙ ජීවිතේ බෙදාගන්නවා.අවසානයේ මේ සුරංගනාවිය නාකි ගෙම්බියට බැඳෙනවා.ඇය හිතනවා කතන්දරවල වුණා වගේ මේ ගෙම්බියත් කාලෙකදි කුමාරයෙක්වෙයි කියලා. .අපි අපේ ජීවිතේ බෙදා ගමු..කුමාරිය දිවුරන්නෙ ඒ බලාපොරොත්තුව ඇතිව...
එපා...නවත්තන්න..මේක බැල්කනිය
ඒත් මේ රාත්‍රිය..
නාකි ගෙම්බියගෙ ආත්මයෙ වකුටු වෙලා හිටපු ගෝනුස්සා රාත්‍රිෙයදි අවදිවෙලා කුමාරිකාවගෙ පිටේ වහනවා.ඊට පස්සෙ ඇගේ ආත්මය කෙමෙන් ආක්‍රමණය කරමින් හෙමින් වෙලාගෙන දෂ්ඨ කරනවා.ඒත් විස දළ වලින් රස නහර පිනවගන්න කුමාරිකාව උත්සහ කරනවා..දැන් මස් වෙළන්දියටත් ඒ නමින් අමත්නන බැහැ.මොකද ඇයත් දැං කුමාරිකාවක් වෙලා.සතුට..ආදරය ...ආරක්ෂාව ..මේ හැම එකක්ම.. ..ඒත් මහළු ගෙම්බිය කැමති නැහැ කවදාවත්ම කතන්දරයට පිටින් කුමාරයෙක් වෙන්න..මායාකාර ශාපය ඇතුළෙ කුමාරිකාව හිරකරගෙන ඇගේ සුන්දරකම හැමදාමත් විදින්න එයා හරි කැමතියි.ලස්සන කුමාරියගෙ ශාස්ත්‍රීය ගායනයට දැන් තව හඩක් එකතු වෙලා.ඒ හඩ මට දැනෙන්නෙ දෙව්ලොව ඉන්න දෙවියන්ටත් පොළොව යට ඉන්න මළවුන්ටත් එකවර කරන ආරාධනයක් වගෙයි.ඒතරමටම ඒක කවදාකවත් කාටවත්ම තේරුං ගන්න බැරි ලාලිත්‍යමය විලාපයක්. ඒක හරි බිහිසුණුයි. ඒ වගේම මිහිරියි.
අද්භූත පෙනුමක් තිබුණු මහළු ගෙම්බියගෙ මාළිගාවෙ පිටුපස පැත්තෙ පිහිටපු හුළං පෙත්ත හරියට සොහොනක ශ්වේත ස්මාරකයක් වගෙයි. වටේ යන හුළග ගැන ගතු කියන එක මොන තරම් නං අමාරුද.නිහඩව බලා ඉන්න කෙනෙක්ට ඒක කරන්න පුළුවන් කියල නිකමටවත් හිතුණද? හුළං පෙත්ත හමන්න දන්නෙ නැහැ.එයා දන්නෙ හැම දෙයක් දිහාම නිසොල්මනේ බලා ඉන්න විතරයි..නිහඩ වෙල් යායෙ දගලන පැලෑටි.ඒ මායිමේ රේඛීය පාරක බයිසිකල් පදින සුරංගනාවො දෙන්නෙක්.මේ දෙන්නා ගයමින් යනවා වසන්තයේත් ගිම්හානයේත් ගීතය.ඒ ගීතයට නිහඩ මාවත් වල නිදා සිටින තණ කොළ පවා අවදි වෙනවා.හුළග ඒ වටා පිනුම් ගහද්දි හුළං පෙත්ත පවා සැලෙනවා.පොළව යට, ආකාසෙ මුදුනෙ,ඉන්න ජීවී අජීවී හැම කෙනෙක්ම ඒ ගායනයෙන් කැළඹිලා. යක්ෂයාගේ හදවතටත් දෙවියන්ගේ ආත්මයටත් එකවර අමතමින් ඔවුන් නිදහසේ පියාඹනවා.
ඔන්න ඔහොම කාලයක් ගත වෙනවා.. කාලයක් ගියහම ඔවුනගෙ නිදහස් ගමනට එක්තරා බාධාවක් එනවා.ඔවුන්ව ලුහුබදින්න ගන්නවා එක්තරා මිනිහෙක්.එයා නමින් ඇන්ටනී.කුණු ලොරියෙ වැඩ කළේ. එයා අර ලස්සනම ලස්සන කුමාරිකාවට ආදරය කරනවා.ඒ ආදරයෙන් කුමාරිකාව මහළු ගෙම්බියගේ ශාපයෙන් නිදහස් වෙලා කෙමෙන් සුවපත් වෙනවා.ඇයට මුල් ශාපයෙන් අත් මිදුණට පස්සෙ තාව කාලික වේදනා නාශකය වුණේ මහළු ගෙම්බිය.ගෙම්බො තුවාල වලට බැන්දම තුවාල සනීප වෙනවා තමයි.ඒත් වෙළුම ලිහුවට පස්සෙ ගෙම්බො ජීවත් වෙලා ලෙඩා මැරෙනවනං ඒ වෙද කමෙන් වැඩක් තියෙනවද කියලා කුමාරියට හිතෙන්න ගන්නවා. ඇයට ආපහු ඕන කුමාරයයි කුමාරියයි ආකෘතිය.පුංචි ලස්සන මාළිගාවක් හදන්න.සතුටින් රජ කම් කරන්න.ඇය ගයන ගීයට දැන් පිරිමි හඩකුත් එකතු වෙලා.අැය හිතනවා යුග ගායනයක් සම්පූර්ණ වෙන්නනං අනිවාර්යෙන් පිරිමියෙක් එක්ක මුහුවෙන්න ඕන කියලා..
මේ සිනමාපටය මම දකින්නෙ සංගීතය උත්තම වූ නිර්මාණයක් විදිහටයි.මනුෂ්‍ය ආත්මයේ නිරන්තරව වෙනස් වන සිතිවිලි, චපල භාවයන්,බිහිසුණු බව,ඊර්ෂ්‍යාව,බොළඳ බව සහ සුන්දරත්වය ආදී සියල්ලම සංගීතය සහ ගායනා තුළින් ප්‍රකාශ වෙනවා..නදීක ගුරුගේ වසන්තයේ දූතයාවත් ගිම්හානයේ මාරයාවත් එක ළග තියලා මෙයින් කවුරු තෝරගන්නවද කියල අහනවා.ඒත් මාරයාගේ රිද්මයත්, වසන්තයේ දූතයාත් යන දෙන්නගෙම මූලික ස්වරූපය සුරංගනා කතන්දරවලදි එක වගෙයි.ඒ හන්දා අපි කවුරුත් පාර වරද්ද ගන්නවා.දිව්‍ය ලෝකෙ යන්න උවමනාව තියෙන අය අපායටත් , අපායට යන්න සුදුසු අය දිව්‍ය ලෝකයටත් වැටෙන්නෙ ඔන්න ඔය පැටලැවිලි සහගත බව නිසයි.
චන්න දේශප්‍රියගේ කැමරාව නිහඩ භාෂාවක් වූ නමුත් නිතර පෙන්වන හුළං පෙත්ත , පාර සහ වෙල්යාය, ඊට ඉහළ අහසේ වළාකුළු ඇතුළත් දර්ශනය එක දවසක හෝ දෙකකදී රූප ගත කර පුනරුක්තියෙන් යොදා ගැනීම නිසා කාලය සහ සෘතූන් අනුව ස්වභාදහම විකාශනය නොවීමේ ගැටලුව මතු වූ නමුත් සංගීතය හා බැදුණු භාෂාවක් කැමරාවෙන් ගොඩ නැගීමේ විශිෂ්ඨත්වය ඔහු විසින් තව දුරටත් රැක ගන්නවා.. ෆයිලේෂ්මාක් චාන් ගේ සංස්කරණය ඉතා සියුම් සැතක් වගෙයි.අනවශ්‍යය එකදු රූපරාමුවක් මා දුටුවේ නැහැ.අනපේක්ෂිත අර්බුධ සහ අභිරහස් ජීවිත හමුවේ නිහඩභාවය රකින මන්දගාමී රූපරාමු, ඒත් කාලය හා අවකාශය අතර සිදුවීම් වේගයෙන් ගලා යාම, ලයාන්විත බව හා මනුෂ්‍යත්වයේ සියුම් රිද්මය ආරක්ෂා කර ගැනීම කියන කාරණය අතින් සංසකරණ ශිල්පියා ඉතාමත්ම ඉහළ තැනක ඉන්නවා.ඒ වගේම බිහිසුණු සහ අභිරහස් බව , ආදරය යයි වටහා ගත් ආත්ම වංචනය , මිය ගිය අවිහංසකත්වය හා දරා ගත නොහැකි අසරණ බව කියන සංකූලනයන් ඉතාමත්ම සියුම් ලෙස ඉදිරිපත් කරන්නට පැස්කලින් බෙල්ග්‍රාඩ් සමත් වෙනවා. ඇනා ලෙමොනාකි ඇයට ලබා දෙන සහය අති විශිෂ්ඨයි.මරණය කැඳවන වේදනා නාශක අසාත්මිකව විඳවන , සැහැල්ලුවටත් සංකීර්ණත්වයටත් අතරමැදි ඇගේ රංගනය සැබිවින්ම සුවිශේෂීයි.ඒත් මේ දෙදෙනාගේ රංගනයේ සමමමිතික බව ඇන්ටනී ගේ චරිතය රගපෑ ලාංකීය තරුණයා අතින් බිදී ගිය බවකුයි මට දැනී ගියේ.ප්‍රංශ තිරනාටකයක, ඊට අදාළ සියළු අමුද්‍රව්‍ය සහ රිද්මය විදෙස් ඌරුවකට සකසා සිංහල තරුණයකු ඊට යොදා ගත් විට සිනමා පටයේ පෙර පැවති රිද්මය බිදී ගිය බවක් දැනුනත් එය වින්දනයට විශාල හානියක් සිදු නොකළ බවත් කිව යුතුයි.ඉන්දික සිය නිර්මාණය තුළ උචිත දේ උචිත පරිදි හැසිරවීම මනා ලෙස සිදු කර තිබුණා.ප්‍රබල තිර නාටකය විසින් ඉතිරි කළ ඉතාම ප්‍රබල දෙබස් මගින් ආත්මයේ නිද්‍රාගත සැහැසි බව පිළිබද යළි හැරී බලන්නට සිදු කළේ සියුම් පෙළඹවීමක්.විශ්මිත අධ්‍යක්ෂණය මගින් සිනමා උළෙලම ඒකාලෝක කළ පහන් තරුවක් වූ මේ සිනමා පටයට නිසි අගැයීමක් නොළැබුණු බව මගේ හැගීමයි.
ආ ...දැන් නවත්තපු තැනින් ආයෙම කතාව පටන් ගමු.දැන් ඔන්න මහළු ගෙම්බිය කුමාරිය ගැන සැක හිතන්න පටන් අරන්. එයාලා වාසය කරපු අද්භූත මාළිගාව නිහඩ වෙලා.දැන් ඒ මාළිගාවෙන් වෙනදා වගේ ලස්සන සිංදු ඇහෙන්නෙ නැහැ.ප්‍රීතියේ ස්වරය සදාකාලිකවම නිහඩ වෙලා. සොහොන් අවතාරයක් වගේ හුළං පෙත්ත විතරක් පුරුදු විදිහට නිසොල්මනේ හැම දෙයක් දිහාම බලා ඉන්නවා.
ඔන්න ඉතිං ඔහොම කාලයක් ගත වෙනවා.එකෝමත් එක දවසක ගෙම්බියි, කුමාරියි, කුමාරයයි එකට එක තැන මුණගැහෙනවා.දෙන්නම කියනවා කුමාරිව මැදි කරගෙන මෙන්න මෙහෙම.ඔයාට ඕන කෙනෙක් තෝර ගන්න..දැන් කුමාරි හොදටෝම අසරණ වෙලා.එයා වටපිට බලනවා.එයා හොදටෝම දන්නවා මහළු ගෙම්බියට බැහැ කවදාවත් තනියම පවතින්න.ඇය දැනන් හිටියෙ මිනී කපන්න විතරයි.කාලෙන් කාලෙට ඇගේ ජීවිත ශාපය කුමාරියො ඇවිත්බේරගත්තා.ඒත් කුමාරියෙක්ගෙ කතන්දරය සම්පූර්ණ වෙන්න කුමාරයෙක් ඕන. දැන් මේ තුන්දෙනා තෝරා ගැනීම පිළිබද සටනක.ඒ නිසා දැනට නවතිමු. කොහොමත් අද එළිවෙන්න පරක්කුවෙයි.මොකද රැය තවම තරුණයි.


සර්පයාගේ දියණිය

No comments:

Post a Comment