Monday, December 14, 2015

ඔබ නැතිව ඔබ එක්ක.
අවසන් අගය ආදරයයි.

ආදරය කියන්නෙ හරි පුදුම දේකට.ඒක කවදා කොතනකදි කොහොම උපදිනවද කොහොම මැරෙනවද කියන්න කවුරුවත් දන්නෙ නැහැ. ආදරේදී මල මිනිස්සු ගණන් කරන එක හරිම අසීරු වැඩක්. ඇහිපිය හෙලවෙන ,පපුව ගැහෙන එවුන්ගෙන් බාගෙට බාගයක් මැරිලා. උන්ගෙ පපු කුහර ඇතුලට කන තියල බැලුවොත් ලබ් ඩබ් කියන හුරු පුරුදු සද්දෙ වෙනුවෙට සිහින් කෙදිරිල්ලක් එක්ක ක්‍රමික විලාපයක් ඇහෙන්න පටන් ගනීවි.ඒව ඇතුලෙ තියෙන්නෙ උන්ගෙ ඉතිහාසයත් එක්ක වර්තමානයෙ මිහිර විදින්න බැරි වීමේ කතාව. ඒත් උන්ගෙ ඇස්වලට එබිල බැලුවොත් හිනාව පිරිලා ඉතිරිලා ගිහිල්ලා. ඉතිං කොහොමද අපි මේ ලෝකෙ තේරුං ගන්නෙ. කැමූගෙ මහාමාරියෙ කිව්වා වගේ සංකල්පික රෝග ඉක්මනට වැලදෙනවා. ඒ වගේම ව්‍යාප්ත වෙනවා. ඒක බෝවෙලා බෝවෙලා මුලු ලෝකයක්ම එකපාර අඩපණ කරන්න වගේම මරලා දාන්නත් පුළුවන්. ඒක තනි පුද්ගල සංස්කෘතික ලෝකයක්ද එහෙමත් නැත්තං සාමුහික ප්‍රකෘතියක්ද කියන එක නං මටත් හොයා ගන්න බැරි වුණා.
සුහද කොකාකමිං සූන් කෑලි බල බල ඉන්න අස්සෙ නැන්දා කඩල වගයක් හපන්න පටං ගත්තා. ආයෙත් හින්දි නළුවෙක් හිටු කියලා ගහ ගන්න පටං අරං. කෙල්ලට දුවගන්ට බැහැ ටයිට් ගවුම හන්දා. දුවන ගමං සින්දුවකුත් කියන්ට තියෙන හන්දා ඒකි තවත් අසරණවෙලා. කොච්චර කෘෘර සමාජයක්ද?.. ඊ ගාවට ඔපෙල් එකෙයි හේමන්ත ටෙක්ස්ටයිල්ස් එකෙයි යට ඇදුම් රාක්ක වගයක සමීප රූප රාමු වගයක්. මොනාද හොද බ්‍රෑන්ඩ් එක. මං කල්පනා කලා. අමන්තේ හොදයි. ඒත් මිල වැඩියි. දැං ටිකක් විතර තෙහෙට්ටුයි. මං බාගෙට වකුටු වෙලා ඉදලා පුටුවෙ හරි බරි ගැහුනා.ටිකක් වෙලා ගියා.වෛවර්ණ තිරය නිලට හුරු චාම් කලු පාටකටත් ශබ්දයක් නැති සංකල්පනික අවර්ණ බවකටත් පෙරලුනා.බොහොම චාම් අකුරු වගයක් ශිල්ප හරඹයක් නැතිවම තිරයෙ ඇදිලා මැකිලා ගියා.එහා පුටුවෙ හිටපු නැන්දා හයියෙන් හුස්මක් පහලට ඇද්දා.
දැං උකස් බඩු කඩේක තරුණ මුදලාලි කෙනෙක් කූඩුවක් වගේ පේන එයාගෙ කාර්යාල කාමරේ ඇතුළට වෙලා බලන් ඉන්නවා. මට නං එයාව පේන්නෙ කවුරු හරි ගෙදෙට්ට එනකල් බුරන්න බලන් ඉන්න බල්ලෙක් ගානට.ඒ තරමටම එයාගෙ ජීවිතේ යාන්ත්‍රිකයි. යකඩ කූඩුව අස්සෙන් එක එක තාලෙ මිනිස්සු එබෙනවා.ඒ අයගෙ අත්වල තියෙනවා ජීවිතෙන් වෙන් කර ගත්තු ස්මරණ. ඒව රත්තරන්. කිරල බලල ලංසු තියල කීයක් හරි අතට දීල අනුන්ගෙ ජීවිතවල ස්මරණ එකතු කරන එක මිනිහගෙ රස්සාව. ඔහු හරි නිශ්ශබ්දයි. ඒත් ඔහුගෙ නිශ්ශබ්ද බව ඇතුලෙ තියෙන්නෙ පුදුමාකාර තිගැස්මක්.
මුවෙක් වගේ ඇස් දෙකක් තියෙන සැලෙන දෙතොලින් යුක්ත තරුණියක් උගස් බඩු කඩේ යකඩ කූඩුවෙන් එබෙනවා.ඇගේ ඇතේ තියෙනවා පුංචි කරාබු දෙකක්. ඊ ගාව දවසෙ මුකුර්තියක්. තවත් දවසක Nokia 1100 වර්ගයේ සෙල්ෆෝන් එකක්.
මං ගන්නෙ රත්තරං විතරයි. ඒත් මං ඔයාට සල්ලි දෙන්නම්. තියෙන වෙලවක දෙන්න.
ඇය සෙල්ෆෝන් එක අරං ආපහු හැරිලා යනවා. උකස් බඩු කඩේ පුවරුවට උඩිං තියෙන ජනේලෙ හයි ඈන්ගල් (High Angle) එකකින් පේනවා.සෙන්ට්‍රල් උකස් බඩු වෙලෙන්දෝබෝඩ් එකට උඩින් පේන්නේ ශ්‍යාම් (ශ්‍යාම් ප්‍රනාන්දු) ගේ මුහුණ. ඔහුගෙ ජීවිතෙත් කොහේටද සින්න වෙන්න යනවා වගේ. ඈත පදිකය දිගේ දුවමින් යනවා අර මුවෙක් වගේ ඇස් තිබිච්ච මේ මොහොතෙ ශ්‍යාම් ළඟ සින්න කරන්න කිසිම දෙයක් නොතිබිච්ච තරුණිය. අපි ඇයට සෙල්වි කියමු.(අංජලී පාටලී). සෙල්වි ආපහු එන්නෙ පුංචි රත්තරං පෙන්ඩන් එකක් අරං. ඒකත් ඔහු ගාව සින්න වෙනවා. තමන්ගෙ ජීවිතේ සේරම සිහිවටන උකස් බඩු කාරයට සින්න කරපු සෙල්වි වේගෙන් වේගෙන් මිනිස් ගංගාව අස්සෙ මැකිලා යනවා.
උකස් බඩු කඩේ කෙරුවාවට පස්සෙ ඔහු කැමති රෙස්ලින් බලන්න. ඒත් මේ තඩි මිනිසුන්ගෙ ශාරීරික පොරය පරද්දන පොරයක් එක්ක ඔහු දුක් විදිනවා. ඔහුට ඒකෙන් මිදෙන්න ඕන වෙලාවට ඈත ජනේලෙත් එක්ක පේන නිල්පාට තේ කෑල්ල දිහා ඔහේ බලං ඉන්නවා.
මට ඔයාගෙ ඇස් වලින් තොල් වලින් පේන්නෙ ගින්දර..ඒ ශ්‍යාම් ගෙ පපුවෙ සද්දෙ.
ඔයාට එහෙම පේන එක පුදුමයක් නෙමෙයි. මගේ ඇතුලෙ තියෙන ගින්දර ඔයාට පේන්නෙ නැහැ.
ඒ නුහුරු සිංහලෙන් ගැහෙන සෙල්විගෙ පපුව. කන තියල බැලුවම හැම මිනිහෙක්ගෙම පපුවෙන් එන්නෙ එකම කුරු කුරු සද්දෙ වුණත් ආදරයේ භාෂාව මොන තරං වෙනස්ද?
සෙල්වි දුවගෙන දුවගෙන යන්නෙ කොහේටද? විස්තාරික දමිළ පවුලක් ලෑලි ගෙයකට කූඩු වෙලා. ඒ අය සෙල්විගෙ කවුද කියල මට නං හිතාගන්න බැහැ. නෑයෙක්වත් කිසිම සම්බන්ධයක්වත් මේ පවුලෙ අයට සෙල්වි එක්ක තිබුණද කියන එක මම දන්නෙ නැහැ.මට එහෙම එකක් පෙනුනෙ නැහැ. එයා උකස් බඩු කඩේට එයාගෙ ස්මරණ සියල්ල වරින් වර සින්න කරලා ගෙදර ඉන්න වැඩිහිටි කාන්තාවක් අතට ඒ සල්ලි ගිහිං දෙනවා. ඒ ගෑනි ඒක ගන්නෙ සෙල්වි දිහාවත් නොබලා.කට්ටිය රවුමට වටවෙලා බත් කමින් ටී.වී බලනවා.තමන්ගෙ කදුලු උකස් කරලා සල්ලි වලට හරවලා ගෙනත් දීපු සෙල්වි බිත්තියට හේත්තු වෙලා බලං ඉන්නවා.එයාගෙ පපුවෙ කුරු කුරුව නුහුරු සිංහලෙන් ඇහෙන්න ගන්නවා.
දවසින් දවස මම මගේ සිහිවටන උකස් කරනවා.
****
අන්තිම දවසෙ ජප මාලය (Rosary) ට වටිනා කමක් දෙන්න බැරිව ශ්‍යාම් සෙල්විට ණයක් දෙනවා.
උකස් බඩු කාරයෙක්ට හොදක් කර ගන්න දෙන්න.කොහොම හරි සෙල්වි ඒ ණය බාර අරන් නිශ්ශබ්දව පිටුපාලා යනවා.ජප මාලය (Rosary) ප්‍රතික්ෂේප වුණ හන්දද මන්දා සෙල්විගෙ ජීවිතේ සින්න කර ගන්න ශයාම් ට හිතෙනවා. එයා ඒ අහිංසක තරුණිය ගැන වැඩිදුර හොයල බලනවා. එයා තීරණේකට එන්නෙ මෙන්න මේ හැගීමත් එක්ක.
එයා අසරණයි.එයාට අනාගතයක් නැහැ කියලා මට හිතුණා.
ඇත්තටම මෙහෙම හැගීමක් එක්ක ආදරයක් පටන් ගත්තම කොයි තරම් ගැඹුරු ආදරයක වුණත් අධිපතිකම් ආක්‍රමණශීළීත්වයන් කොයි මොහොතක හරි ඇති වෙන්න පුළුවන්.අනෙක සෙල්වි ශ්‍යාම්ගෙ ජාතියට වෛර කළා. ඇයව නාකි මිනිහෙක්ට බන්දලා දෙන්න හදද්දි ශ්‍යාම් ඇයට කැමැත්ත දීලත් ඇය නිහඩව ඉන්නවා.ඒත් ඇයගෙ යටි හිත අවදි වෙන්නෙ මෙන්න මේ විදිහට.
මට ඔයාව දැනුනෙ මාව බේර ගන්න ආපු හීරෝ කෙනෙක් විදිහට.ඒත් මං ඔයාගෙ ජාතියට වෛර කළා.
ඉතිං කොහොම හරි ශයාම් සෙල්විව බඳිනවා.එකපාර මැරෙනවට වඩා ටිකෙන් ටික මැරෙනවා වගේ විකල්පයකට සෙල්වි ආවෙ.එයා මේ මොහොත වෙනකල් ශ්‍යාම්ට ආදරේ කලේ නැහැ.ඒත් ආවස්ථික පිරිවැයක් තිබුණා විකල්ප දෙකක් අතරෙ.නාකියද? සිංහලයද? කියන එක.
කොහොම හරි මේ දෙන්නා කසාද පොතේ අත්සන් කරලා මංගල ජායාරූපයක් ගන්නවා.කොච්චර ලංවෙන්න හැදුවත් සෙල්වි හිටියේ ඔහුට දුරස් වෙලා. ලං වෙන්න කැමරා කාරයා කෑ ගැහුවා.ඇය මුවෙක් වගේ ගැහි ගැහී ලං වුනා.හිනා වෙන්න. ආයෙත් කැමරා කාරයා කෑ ගහනවා.ඇය අමාරුවෙන් හිනා වුණා.
සෙල්විගෙ අතේ බෑග් එකක්.ඒකෙ තියෙන්නෙ එයාගෙ ඇදුම්. ටොමාස් ගෙ ගෙදරට තෙරේසා ( පියාපතක් වන් ජීවිතයක්-කුන්දේරා) ආව පලවෙනි දවසෙ වගේ.සංස්කෘතික ගට්ටනයක් එක්ක මල්ල අතාරින්නෙ නැතිව සෙල්වි හිටගෙන ඉන්නවා. මේ ඔයාගෙ සේසතද? ශ්‍යාම් අහනවා.ඒ එක්කම ඔහු කියනවා මේ තමයි මගේ මාළිගාව කියලා.ඔවුන් දෙන්නගෙ ශාරීරික එක්වීමෙ දර්ශනයෙදි මට හිතෙනවා සෙල්වි තව දුරටත් කරන්නෙ දරා ගැනීමක් කියලා.ඇය තෝරා ගත්ත විකල්පය වෙනුවෙන් දරාගන්නවා.පහුවෙනිද උදේම නාන්නෙ ඒ සේරම සෝදලා දාන්න.ඒත් එයින් පස්සෙ කෑම මේසයෙ දර්ශනයෙදි පේන්න ගන්නවා මැරිල හිටපු සෙල්වි ආපහු ඉපදිලා කියලා. එදා ඉදන් තමයි ඇය ඔහුට ආදරය කරන්නෙ.
ආදරයෙන් බැඳිලා ගැහැණියක් අවනත වෙන්න වෙන්න ඕනෙම සාමාන්‍ය පිරිමියෙක් කරනවා වගේම ශ්‍යාම් ටිකක් විතර අධිපති වාදී වෙනවා.
දවසකට වියදම් කරන්න පුළුවන් රුපියල් 300යි.අපිට එතකොට පුළුවන් අර ඈත තියෙන තේ කෑල්ල ගන්න.
ඔහු ජනේලයෙන් එහා තේ යාය ඇයට පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි උකස් කඩේට ආව දමිළ කාන්තාවකට අනුකම්පා කල වරදට නින්දෙන් නැගිට්ටලා පොඩ්ඩක් විතර සැරත් කරනවා. පිරිමි කැමතියි ගැඹුරින් ආදරය කරලා අසරණ කමට චුට්ටක් විතර කොනිත්තන්න. ඒක ලෝබ කම නෙමෙයි. ආදරේ එක ස්වරූපයක්.
මේ අතර වාරයෙ ශ්‍යාම්ගෙ පරණ යාලුවෙක් ශ්‍යාම්ව හොයා ගෙන එනවා. එතනදි සෙල්වි දැන ගන්නවා ශ්‍යාම් හමුදාවෙ හිටපු කෙනෙක් බව. ඇයගෙ නිහඩ අතීතය අපට නිරාවරනය නොවුනත් මුවෙක් වගේ ඇය ආපහු ගැහෙන්න ගන්නවා.ඇයට එතැන තවත් රදන්න බැරිව නිහඩව ආපහු යනවා බස් හෝල්ට් එකට. ශ්‍යාම් ඉවෙන් වගේ එතනට යනවා. ඒත් සෙල්වි බයික් එකට නගින්නෙ වෙනද වගේ ඔහුව බදාගෙන නෙමෙයි. පැත්තට හැරිලා වාඩි වෙලා.ඒ වෙලාවෙ ශ්‍යාම්ගෙ යටි හිත මෙන්න මේ විදිහට කෙදිරි ගානවා.
ඔයා ආපහු ඇවිල්ල වාඩි වුණාම මං හිතුව ඔයා සේරම අමතක කරල මාත් එක්ක ආවයි කියල.ඒත් මං ඔයාගෙ දැකල තියෙන්නෙ මං දකින්න කැමති දේවල් විතරයි.
මං දෙමළ.මට ඔයාලව දැනෙන්නෙ වෙනම විදිහකට..ඔයාලා අපේ අයගෙ රත්තරං බඩු මංකොල්ල කාපුවා....
බැල්ලි...කට වහ ගනින්..මං නැත්තං උඹට ඔහොම කතා කරන්න වෙන්නෙ නැහැ.
මෙන්න මේ දෙබස ගැන කවුද ලියලත් තිබුණ ප්‍රසන්නගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ මෙහෙම ඒවා කියලා. මගේ පුද්ගලික මතය පුද්ගලයෙක්ගෙ හැසිරීම ගැන පූර්ව සැලසුමක් කවදාවත් ගන්න බැහැ.නාකි හු.... දත් දාල කොන්ඩෙ ඩයි කරල කැන්දං ආවට පස්සෙ.... එහා ගෙදර රන්ඩුවකදි මට ඇත්තටම එහෙම ඇහිල තියෙනව.ඒත් පහුවෙනිද එයාල එක්කාසු වෙලා පන්සල් යනවා.වැළද ගන්නවා.හිනාවෙනවා.ඒක තමයි ජීවිතේ කියන්නෙ.ඉතින් ජීවිතේ ගැන කතා කරන චිත්‍රපටයක වුණත් නිශ්චිත රාමුවක් හෝ අවසානයක් හොයන එක තේරුමක් නැති වැඩක්. මනුස්ස ජීවිතේ ඕනම දෙයක් ඕනම විදිහකට සිද්ධ වෙන්න පුළුවන්..
සෙල්විට අයෙමත් තමන්ගෙ අතීතයෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඇය දූෂනය කියන වචනයට හරි බයයි. මුල් දවසෙ ශ්‍යාම් එක්ක හිටියෙත් මුවෙක් වගේ ගැහි ගැහී. වේදනාව දරාගෙන. ඇය අපට තවමත් නොකියපු කතාවක් තිබුණා.හැමෝම ගාව ඒ වගේ දරා ගැනීම් නොකීව කතන්දර අනන්ත තියෙනවා.සෙල්විත් ශ්‍යාම්ට කිව්වෙ භාගයයි. ඒ හමුදාවෙන් එයාව බේර ගන්න ගිය මල්ලිලාට වෙච්චි දේ විතරයි. ඒත් මට හිතුනා එයා එයාට වෙච්ච දේවල් අපට හැංගුවද කියලා.එදා ඉදන් ශ්‍යාම් ළගට ආවත් සෙල්වි ගැස්සෙනවා.එයා මුවෙක් වගේ බයයි.උණෙන් ගැහෙන්න ගන්නවා.කවද හරි ශයාම් ගන්න හිතං හිටපු තේ කෑල්ල දිහා බලං සිංදු කියනවා.හිමි වූනාට පස්සෙ අධිපතිත්වයක් පෙන්නුවත් අහිමිවීම පේන්න පේන්න ශ්‍යාම් ආපහු මුලට එනවා.උකස් කඩේට ආපු දෙමළ කාන්තාවගෙ තැල්ල බාර නොගෙනම ඇයට ලෝන් එකක් දෙනවා.දෙවියන්ට පින් දිදී යන ඒ කාන්තාව දිහා ඔහු බලං ඉන්නවා..මං සෙල්විට හෙට ඇත්තම කියනවා...
***
හමුදාවෙ ඉදපු අපේ යාලුවො තුන්දෙනෙක් දෙමළ කෙල්ලෙක් දූෂණය කරනවා.අන්තිමේ ඒකි මැරෙනවා.ඒකට සම්බන්ධ එක යාළුවෙක් තමයි ගාමිණී.මං එයාව බේර ගන්න උසාවියෙදි බොරු සාක්කි කිව්වා.එයා මාත් එක්ක ඩියුටි හිටියා කියල.ඕක තමයි වෙන රහසක් නැහැ.මං හමුදාවෙන් අස් වුනේ ඒකයි.මට ඕනෙ අලුත් ජීවිතයක් ගොඩ නගා ගන්න.ඒකට ඇයිමට ඉඩ දෙන්නෙ නැත්තෙ...
ප්‍රතිමාවක් වගේ නිහඩ ප්‍රතාපවත් ඒත් දෝංකාර දෙන පෙනුමක් තියෙන ශ්‍යාම් ගෙ ඇස් දෙකේ ලොකු කදුලු ගුලි දෙකක්.සෙල්වි යටි උගුරෙන් කෑ ගහනවා. එයාව දරදඩු වෙනවා.ඒත් එයා උත්සහ කරනවා නැවත අතීතයෙන් මිදෙන්න.
මං ඔයාට රිද්දුවා..ඒ සෙල්වි.
නෑ... මමයි ඔයාට රිද්දුවේ..ඒ ශ්‍යාම්..
මේක හරියට වැස්සකට තෙමුණ මිනිහෙක් ඒකට හේතු හොයනවා වගේ දෙයක්.මම කුඩේ ගෙනිච්චෙ නැහැ.කෙනෙක් කියන්න පුළුවන්. නැහැ..ඔයයි වැරදි.ඔයා පරක්කු වුනා..ඒ අනෙක් කෙනාගෙ මතය. කවුරුවත් වැස්සට දොස් කියන්නෙ නැහැ.ඒ පාලනය කරන්න බැරි සමහර සංසිද්ධි වලට දොස් කියලා පලක් නැති නිසා. එතකොට කරන්නෙ අපි අපිටම රිද්ද ගන්න එක.
මට සමාව දෙනව නං මං ඔයාට හොද වයිෆ් කෙනෙක් වෙන්නං...අන්තිමට සෙල්වි කියනවා.තමුන් තෝර ගත්ත විකල්පය ඇතුලෙ පවතින්න ඇය තාමත් උත්සහ කරනවා.ඇය ජීවිතේ මිට මොලව ගන්න මිට මොලව ගන්න ඒක ඇගෙන් ගිලිහිලා යනවා.
ශ්‍යාම් අන්තිමටඋකස් බඩු කඩේ විකුනනවා.එයාට දැන් ඕන සෙල්වි එක්ක ඉන්දියාවට යන්න.සෙල්විගෙ අම්ම තාත්තව හොයල දෙන්න.ඒත් ඒ අය හොයල පලක් නැති වග සෙල්වි දන්නවා. එයා නිසලව ඉන්නවා.ශ්‍යාම්ම් යනවා එයාර් ටිකට් අරං එන්න.
ආපහු අර හයි ඈන්ගල් එක.සෙනට්‍රල් උකස් කරුවෝබෝඩ් එකට උඩින් ජනේලෙ මැද්දෙ නිල් පාට සල්වාරියක් ඇදගනිපු සෙල්වි.එයා ටික ටික ජනෙල් පඩිය උඩට නගිනවා.දැන් එයා හරි ලස්සනයි.සුරංගනාවියක් වගේ ජනේලෙ මැද්දෙ හිට ගනිපු එයා එක පාරටම එතනින් පල්ලට පියාඹනවා.ශ්‍යාම් උඩින් පියාඹන්න ටිකට් අරන් එන කොට සෙල්වි පහළට පියාඹලා ඉවරයි.
මං ඔයාගෙ හීන ගැන ඇහුවෙ නැහැ කවදාවත්.මට මගෙ හින වලට ඒව හරස් වෙයි කියලා හිතුවා.ඒ ශ්‍යාම් ගෙ දෝංකාරෙ.
මට බාගෙට ආදරය කරන්න බැහැ.මට ඒනෙ වුනේ ඔයාට හදවතින්ම ආදරය කරන්න.ඒ සෙල්වි.
ශ්‍යාම් ප්‍රනාන්දු ගෙ රංගනය මම දුටුවෙ පුදුමාකාර දෙයක් විදිහට.තිරයට ආගන්තුක මුහුණක් වුණත් ඔහුගෙ අභිනය හරි දැවැන්ත විදිහට ආත්මයට කා වදිනවා. කලාතුරකින් ඇහෙන ඔහුගෙ ප්‍රතාපවත් කට හඩත් එහෙමයි.අංජලීගෙ නම් මුහුණෙ ඉරියව් ඇතුළෙ සියල්ලම ලියවිලා තිබුණා.අලුතින් කියන්න දෙයක් ඇයට ඉතිරිවෙලා තිබුණේ නැහැ.ඒ මුහුණ හරියට පින්තූර පිරිච්ච කතන්තර පොතක් වගෙයි. පිටුවෙන් පිටුව පෙරලෙද්දි පින්තූරෙ පාට හැඩය වෙනස් වෙනවා. ප්‍රසන්න ඒ මුහුණු දෙකේ කදුලු දොවලා එක එක තැන් වල තියලා අපෙන් අහනවා කදුලු වල පාට මොකක්ද කියලා. රතු පාට පසු බිමක තිබ්බම මට ඒ කදුලු කැට දෙක පේන්නෙ ලේම ලේ පාටට.නිල් පාට පසු බිමකදි නිල්ම නිල් පාටට.පසු බිමක් නැති තැනකදි අවර්ණව.ඉතිං මං අසරණ වෙනවා.ඇත්තටම ලං කර ගන්න මිනිස්සුන්ට වඩා අපිට ආදරය කරන්නෙ හැර ගිය මිනිස්සු.ඒ අය එක එක විදිහටඅපිව හැර යනවා.සෙල්වි පාතට පියෑඹුවා.තවත් සමහරු වෛරක්කාරයො විදිහට පෙනී ඉන්නවා.තවත් අය වෙන විකල්ප තෝරන් හිනා වෙලා වගේ ඉන්නවා. ඒත් අත්පත් කර ගැනීමට එහා දෙයක් අත් හැරීම තුළ ඉතිරි වෙනවා.
මං ඇමිටි එකෙන් එළියට බැහැලා නැන්දගෙ අතින් අල්ලං පාර මාරු වෙනවා. හිතේ මොකක්දෝ ලොකු බරක් ඉතිරි වෙලා.මං හෙමීට ආපහු ඔලුව උස්සලා පාරෙං එහා පැත්ත බලනවා.මට පේනවා ඇමිටියේ උඩ තට්ටුවෙ එල්ලපු ලොකු කටවුට් එක. සෙල්විගෙ ඇස් වල කදුලු බින්දුවට යටින් ශ්‍යාම් හරි ලස්සනට හිනාවෙනවා. මං ගමන නතර කරල එයාල දිහා බලන් ඉන්නවා.ඒ දෙන්නට පාතින් අවසන් අගය ආදරයයිකයල ලියවෙච්චි පුංචි රතුපාට අකුරු වැලක් ලොකු කදුලු පේලියක් එක්ක දිලිසෙනවා.
උපේක්ෂා නුවන්ශ්‍රීනි


මැගී ඉන්ස්ටන්ට් , බුක් ෆෙයාර්, සෙල්ෆි, දිල්බර්, අයි ඩෝන් නෝ සහ බුදු අම්මෝ


මට නං සෘතු භේදය දැනෙන්නෙ පායලා වතුර නැතිවෙනකොටයි වැස්සට තෙමෙනකොටයි විතරයි. එතනින් එහා එකපාර උත්තතේජයක් ඇවිත් මාර ගැම්මෙං වැඩ කරන්ට සිද්ද වෙච්චි අවස්ථා මගෙ ජීවිතේ බොහොම අඩුයි.ඒත් බුකියේ සරන අතර වාරයෙ මං දැක්කා සාහිත්‍යය මාසය, සාහිත්‍ය උත්සව, පොත් ප්‍රදර්ශන වගේ එව්වා මෙව්වා වචන ටිකක්.දැං ලංකාවෙ සාහිත්‍යය මාර ෆෝවර්ඩ් ඇති නේද? මට හිතුනා.ඒත් මං සාහිත්‍යකාරයෙක් නොවන නිසාත් ඔව්වට නොයා පොතක් කියවන්ට හිතුනම හුදකලාව සාප්පුවකට ගිහිං ගන්ට පුරුදු වෙලා හිටපු හන්දාත් මට කවදාක්වත් ඔය දේවල් ලොකුවට දැනිලා නැහැ.අද මං ප්‍රවීණ කලාකරුවෙක් වූ ...මහත්තයගෙන් නිකමට මෙන්න මෙහෙම ඇහුවා...
........ මහත්තයා පොත් ප්‍රදර්ශනේ බලන්ට ගියේ නැත්ද?
ඒක බලන්න තරං වටින එකක්ද?පොත් බලපු එවුනුයි ගත්තු එවුනුයි දාපුවා දැක්කම ඇතිවන අප්රියාව එක්ක මට යන්න හිත දුන්නෙ නැහැ.
ඒ කමෙන්ටුවෙ පවර් එක හන්දාම මගේ අතින් ලයික් බටන් එක තුන් පාරක් එබුනා.
ලමයො යන්ට ..... ගෘෘප් එකට පොඩ්ඩක්...ඒ මහත්මයා කිව්වා...
ඉතිං මං කුලුදුලේ අද හවසම ඒ ගෘෘපයෙ සාමාජිකයෙක් වෙලා ටිකක් ඒ වෝල් එකේ එහෙ මෙහේ සැරි සැරුවා. බුදු අප්පේ... හරියට සුනාමියක් ආවම...සුලි කුනාටුවක් කරකැවුනම, ඒ කුණාටුවෙන් මාලු අහිනක් ගමකට ඇදං වැටුනම වගේ ජංජාල ගොඩයි. එක එක්කෙනා තම තමුන් ගත්තු පොත් වල කලර් පොටෝ ගහල දාලා. සමහර එවුවන්ට සංතෝෂය දරා ගන්න බැරි තරම්. ජීවිතේටම ගෑනියෙක් නොදැක්ක එකෙක්ට ගෑනියෙක් හම්බවුනා වගෙයි සමහර අයට...
45 mins • Edited ආපු ගමන් නොයිවසිල්ලෙන් ඇඳ උඩ පෙරලගත්තා................ ආදරෙන් මේසෙ උඩ පෙරලගත්තා.......... අත ගෑව... හාදු දුන්නා ඒත් මදි .................. තව දෙතුන්වතාවක් වත් විඳින්න ඕන......... කබඩ් එකට දාන්න කලින් ... පස්සෙ හෙමින් කියවන්න
හපොයි...බුදු අම්මේ...පොතක් දැක්කම මෙහෙමත් හිතෙනවද? මට ඉස්ඉස්සෙල්ල මගේ ආදරවන්තය හම්බවෙච්ච දාවත් මෙහෙම හිතුනෙ නැහැනෙ අම්මපා...ඇත්තටම සාහිත්‍යය සහ පොත් ගැන මගේ මතය යල් පැන ගිය එකක් වෙන්න ඇති. මම හෙමින් වෝල් එකේ පහලට පහලට ගියා.
feeling crazy
2 hrs
උදව්වට අඩගහ ගන්න හෙම කෙනෙක් නැද්ද තුන් දෙනෙක් ඉදලත් අරන් යන්න බැ පොත් ටික
හයියෝ තවත් සිහිනයක් බොඳ වන ළකුණු... බුක් ෆෙයා එකේ ගොඩක් කුටි වල කාඩ් පේමන්ට් නෑ කියන්නෙ...තේරෙන්නෙ නැහැ ඇයි මේ මිනිස්සු කෑශ් පේමන්ට් විතරක් ගන්නෙ ඇයි කියලා..එහෙනම් ඔයාල හැමෝම යන්න..ගිහින් පොත් වල ෆොටෝ දාන්න..මම ලයික්ස් දාන්නම් ....කාඩ් පේමන්ට් තියෙන අය ගැන ගියපු අය පොඩ්ඩක් කියනවද?’
එක නෝනා කෙනෙක්ට උස්සන් යන්න බැරි තරං පොත් ගත්තු එකේ වේදනාව. තවත් මහත්තයෙක්ට ප්‍රශ්නෙ කාඩ් පේමන්ට්.එයාගෙ අහිමිවීමේ සාංකාව විසින් කියනවා කමක් නෑ ඔයාල පොටෝ ගහන්න මම ලයික් දාන්නම් කියලා.ඕක හරියට ගම්පෙරළියෙ නන්දා අල්මාරියට ලියුම් දැම්ම සීන් එකට සමානව අපේ ජෝතිපාල මහත්තය ගායනා කරන මෙන්න මේ සිංදුව වගේ එකක්. නැත්ද මං අහන්නෙ
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා - ඉහ ඉද්දර මම ඉන්නං පවං සල සලා..
තරුණ ජෝඩුවක් හුදකලා වුනාම ඇත්තටම මෙහෙම ඉදීද? ඕකට කියන්නේ සාංකාව.රැලි දිගහැරීමේ දුක.බුල.ශෝකය.ඇම්ම....
මට වෙලාවකට හිතෙනවා මං ඇත්තටම කොහෙද ඉන්නෙ කියල.සමහර මගෙ හිතවත් ලේඛක මහත්තුරු අමනාපත් වෙනව මං එක්ක.මොකද එයාල නිර්දේශ වුනාම මං සුබ පතන්න ලේට් වුණ එකට.එහෙම ලේට් වෙන්නෙ මට මුලදි හිතෙනවා එහෙම නිර්දේශ වෙන එක මහ ලොකු දෙයක් නෙවේ කියලා.ඒත් පහුවෙලා යාලුවා නිසා මම සුබ පතනවා ( මගෙත් රැලි ෆැන්ටසිය) ඉතින් උං බනිනවා.ඔයා මොන ලෝකෙද හිටියේ කියලා.ඒ කියන්නෙ දැං ඉන්න ලේඛකයො බලාපොරොත්තු වෙනවා තමං මේ තුන්ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න ඕනය කියලා.මට මතක් වෙනවා අර අවුකන ප්‍රතිමාව හදපු නිහඩ කලාකරුවව.හිතට හීං සාංකාවක් එනවා..
දරුවො කොහොමද ඒ වෝල් එක... ....... මහත්තයා මගෙන් ෆීඩ් බෑක් එක අහනවා...
කියල වැඩක් නැහැ ... මහත්තයා මට නිකං පිස්සු වගෙයි.යන්ට හිතෙන්නෙත් නැහැ.ඉතිං මං ආයෙත් කියෝනවා.කට්ටිය ලියපුවා.
ඕව සාහිත්‍ය කාරයො කරන සංවාදද? ඒ අස්සෙ .... මහත්තය මගෙන් අහනවා...අනේ මන්දා ..මට ආයෙත් ලයික් බටන් එක දිගටම එබෙනවා....ඕං ආයෙ මං වෝල් එක පුරා කරක් ගහනව.
හුදකලාවම පොත් ප්‍රදර්ශනයට ඇතුළු වූ මට සියුම් පාළුවක් දැනුනේ පවුල් පිටින් හෝ පෙම්වතිය සමග ආ එවුන් දැකීම නිසාය.......... එළියේ ATM යන්ත්‍ර සවි කර තිබුනත් ඒවායින් ප්‍රමාණවත් මුදලක් ලබාගැනීමට මගේ බැංකු ගිණුම සමත් නොවීය....
ලබන අවුරුද්දෙත් පොත් ගොඩක් ගන්න හිතාගෙන අනවශ්‍ය වියදම් අඩු කරලා අද ඉදන් අයෙමත් මුදල් එකතු කරන්න ගන්න. එතකොට අනිත් අය ගත්තු පොත් වල රූප බලලා තමන්ට පොත් ගන්න නොවෙන එක ගැන දුක් වෙන්න ඕනේ නැනේ.
ස්තුතියි.
මං මේ කට කහනවට කියන්නෙ. පොත් ගන්න සල්ලි නෑ කියල නහයෙන් අඬන දෙතුන් දෙනෙක්ගෙ profile වලට ගිහින් එයාල upload කරල තියන, tag වෙලා තියන photos බලන්නකෝ. බස් වල දුක කියල දවසට 10000ක් විතර හොයාගන්න හිඟන්නොගෙයි මෙයාලගෙයි වැඩි වෙනසක් නෑ කියල ඔයාලට තේරෙයි... දෙගොල්ලොම කරන්නෙ බොරුව.
ප.ලි : ලස්සන ඇඳුම් වලට, ලොකු ලොකු කෑම වලට, මද්‍යසාර වලට, ලොකු phone වලට වියදම් කරන්න නම් මෙයාලට මදි නොකියන්න සල්ලි තියනවා. ඒත් පොත් ගන්න නම් සල්ලි නෑ...
සාහිත්‍යයෙ මාසයේ උපන්දිනය යෙදීම කොච්චර ලොකු වාසනාවක්ද; පොත් තොගයක් අරන් දුන්නා මදිවට ඒ පොත් දාන්න ඉඩ මදි නිසා අලුත් පොත් කබඩ් එකකුත් ලැබුනා. හැමදාම හබීට දඩ දාන්න ඕන නිසා එයාට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
කවුරු හරි මේ පොත ගැන දන්නවද...??? උදේ බස් එකේ හිටිය boy කෙනෙක් ගෙ අතේ තිබුණේ ... පොත ඉල්ලගෙන photo එකක් ගත්තා.... කියවල තියනවද කවුරැ හරි??’
නෝනා මහත්තයා පොතක් පිනට දෙන්න මේ අසරණයාට පොතක් පිනට දෙන්න !!!
මෙහෙම කියන අයත් හිටියා book fair එකේ පව් වැඩේ
හපොයි. මගෙ කොන්ද රිදෙන්ට ගත්තා.මං කශේරුකාව කෙලින් කරන් ටිකක් ඔලුව එහෙම හොදට හෙල්ලුවා. මොලේ නිකං අංජබජල් වෙලා වගෙයි . දිනපතා පොත් කවරයක් වෝල් එකට නොදැම්මොත් මේ නංගිලට සාංකාව.ඉතිං අහල පහල බෝයි කෙනෙක්ගෙං හරි ඉල්ලලා පොටෝ එක ගහනවා.මේක කියවීමේ උනන්දුවද? කාගෙන් හරි ඉල්ලලා ඒ නංගි පොත කියෙව්වනං ඒක වෙනම එකක්.ඒත් මේ නංගිලට ඕනෙ පොටෝ එකක් එක්ක කැප්ෂන් එකක් විතරයි...ඊට පස්සෙ පොටෝ එක දාලා අහනවා මේ පොත මොකක්ද කියලා කියන්නලු (කියවල දැන ගනින්කො මං අහන්නෙ) .හරියට අර කංගැට්ටා අල්ලන්ට අපේ මාධ්‍යය කටයුතු කලා වගේ.මේ බඩකඩුතුත්තුවෙ රිංගලා මාවත් අංජබජල් වුණා.කෝක වෙතත් බී එම් අයි සී එච් එකේ මැගී නූඩ්ල්ස් එකට මං ආසයි.....මට ආං ඒකෙ සාංකාව ආවා. ගෙදර මැගී එකක් හදලා කනවා. නිදහස් වෙලාවක ගිහං සරසවි එකෙන් පොත් ටිකක් ගන්නවා...මේක මගේ අවසාන තීරණය.
කෝමද දරුවෝ දැං ඔයාගෙ තත්වෙ...ඒ .....මහත්තයා...
තත්වෙ භයානකයි.... මහත්තයෝ... ඔබ එහෙ නොගියෙ හොද වෙලාවට ලේඛකයන්ගෙ සෙල්ෆි ගන්ට වෙනම පොරයක්..ඔබ තුමා ව දැකපු ගමන් උම්ම දීල බිම පෙරල ගත්තොත් මට හොද යාලුවෙක් නැති වෙනවා...
නැත නැත දරුව සාහිත්‍ය සාගරය.... කැළබී ඇත.... බුද්ධිය පිම්බී ඇත........ පොත් කාරයෝ රැට කාමරත් කුලියට දෙයිද මන්දා..
හප්පට සිරි....මට ඉබේම කියවුනා..
සාහිත්‍ය මාසෙ ...බුදු අම්මෝ...ඒක මහ භයානක රැල්ලක්...බලං යනකොට. හරියට උල්කාපාතයක් වගේ. දිලිහිලා අලුවෙලා කඩං වැටෙනවා....ගොඩක් එවුං බදා ගන්න බැරි තරමට උස්සං අරං යන්නෙ මල් වවන හැටි, ස්ටේෂනරි, කරවිල තිත්ත නැතිව උයන හැටි වගේ ලට පට.ඉතිං මේවා සාහිත්‍යෙය උන්නතියට සම්බන්ධ වෙන්නෙ කොහොමද? මට ආයෙමත් හිතුනා.
පොත් ගන්න ඉන්න පෝලිම දැක්කම සන්තෝෂයි..
ලන්කාව කියන තරන්ම පිරිහිලා නෑ වගේ නේද?ලේටස්ම නොටිෆිකේෂන් එක ක්ලික් කලාම ඔන්න ඔහොම එකක් මතුවුණා. ඒකෙන් ආපු ක්ෂණික උත්තේජනය එක්ක මං ඩොංගල් එකේ අයිකන් එක ගාවට මවුස් එක ගෙනිහිං ඩිස්කනෙක්ටඩ් බොත්තම පට ගාලා එබුවා.විනාඩි දෙකකින් විතර මගෙ ජංගම දුරකථනය කීං ගෑවා.
දරුවා..තාම පණ පිටිං නේද...ඒ .......මහත්තයා...

සර්පයාගේ දියණිය
මේඝ ගීතය


හිරිගඩු පුප්පන හුළග වෙලාවකට බිහිසුණු වුණත් කාන්සියෙන් පෙළෙන වෙලාවට නම් මිහිරි ගීතයක් වගේ දැනෙනවා.ඒ මිමිණිල්ල අස්සෙ ජීවත්වෙන, සහ මැරිච්ච මිනිසුන්ගෙ අපමණ රහස් අඩුවැඩි වශයෙන් හැංගිලා තියෙන්න පුළුවන්. මං ජනේලෙ ඇරල දැම්මා.ගෙම්බන්ගේ කඨොර සද්දෙයි, ජීවත්වෙන එකේ ඒකාකාරී වේදනාවයි අමතක කලාම ඇත්තටම මේක හරි සුන්දර රාත්‍රියක්.විවෘත කවුළුවෙන් බලන් ඉන්න කොට මට පේනවා දුර ආකාසෙ දිලිහෙන පුංචි පුංචි තාරුකා.සමහරක් සමූහ වශයෙන් බබළනවා.තව සමහරක් හුදකලාව දිලිහෙනවා. ඒත් මං වැඩියෙන්ම කැමති අරුන්දතී පහන් තාරුකාවට.ඒ එයා හුදකලාව බබළන හන්දාමත් නොවෙයි. හදෙන් බාගයක් වගේ පෙනෙන එයා හරිම ලස්සන නිසයි. එක අතකින් ජීවිතේට කණාමැදිරි එළියක් වත් නැතිවාට වඩා ඈතින් හරි තරුවක් පත්තු වෙන එකේ තියෙන වැදගත් කම කොච්චරද?
හුදකලාව ඇස් පියා ගත්තම මට දැනෙනවා කවුරු හරි මගේ හිස පිරිමදිනවා.ඇත්තටම ඒ කවුරු වෙන්න පුළුවන්ද? කෑලි කපන්න පුළුවන් ඝණ අදුරෙ මට කිසිවක් පේන්නෙ නැහැ.අඩවන් ජනේලයෙ පුංචි හිදසකින් තරුවකින් බාගයක් පේනවා.ඒ අස්සෙ නොපෙනෙන හුළග ඇගේ වෙලෙමින් දැඩි සීතලක් ගෙනෙනවා.සමහර නොපෙනෙන දේවල් අපට කොච්චර දැනෙනවද?ඒ වගේම අපිව කොච්චර වෙනස් කරනවද? මේක මම පුංචි කාලෙ අහපු කතාවක්.මහා කවි කාලි දාසයන්ගෙ මේඝ දූතය කාව්‍යයේ එන අතුරු කතාවක් විදිහට තමයි මම මේක අහල තිබුණේ.මිනිසුන්ගේ ජීවිතවල තියෙන සමහර රහස් කිසියම් දිනෙක සොබා දහම විසින් හඩ ගා කියනවා. ඒවා ඇතැම් විට දුක්බර අබිරහස් හෝ සුන්දර සිහින වන්නට පුළුවන්. ඒත් ඒක අහන මිනිසුන්ට කොයි තරම් දුරට තේරුං ගන්ට පුළුවන්ද කියන එකේ නං ගැටළුවක් තියෙනවා.
ඔන්න එකෝමත් එක කාලෙක දඹදිව හිටියා සංගීතයට ඉතාමත්ම ලැදි කුමාරයෙක්. ඔහු සංගීතයට කොයි තරම් නම් දක්ෂද කියනවනම් , බටනලාව පිඹින කොට අහසේ ඉන්න දෙව්වරු පවා ඒ දිහා බලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි දැහැන්ගත වෙලා වගේ ඒ හඩ අහං ඉන්නවා. ඒ තරම්ම ඒ ස්වරය මිහිරියි. එක් දිනක් මේ දක්ෂ කුමාරයා පුදුමාකාර හීනයක් දකිනවා.ඒ තමයි, ලෝකයේ අවසාන රටේ අවසාන ගම්මානයේ පිහිටි බට ගස් පිරිච්ච අදුරු කැළෑවකට එක්තරා දවසක එකවර තරු දහසක් පායන රාත්‍රියක් උදා වෙනවා.ඒක ඇත්තටම පුදුමාකාර ලස්සන රැයක්..ඉතින් අන්න ඒ දවසට මේ කුමාරයා ඒ සිහිනෙන් පෙන්වන ස්ථානයට පැමිණිය යුතු බවට ලස්සන සුරංගනාවකගෙන් පණිවිඩයක් ලැබෙනවා.... කුමාරයා මුලින් මුලින් සාමාන්‍යයෙන් අපි වගේම එතරම් හීනය පසු පස ගියේ නැහැ. ඒ වුණත් එහි චමත්කාරජනක බව සහ අපූර්ව සහගත බව ඔහුගෙ ඔලුවෙන් ඉවත් වෙලා ගියෙත් නැහැ.කොහොම කොහොම හරි පිට පිට දවස් කිහිපයක් එකම හීනය දැකීම නිසා අන්තිමට ඔහු තීරණය කළා ලෝකයේ අවසන් රට සොයා ගෙන යන්න.ඒ ගමන ඔහු යා යුත්තෙ තනිවම.හීනෙන් ආ සුරංගනාව කුමාරයගෙ ආදරණීය අශ්වයට කණට කරල පියවරෙන් පියවර යන පාර කියල දුන්නා. ඒ දිව්‍ය හඩ අශ්වයට ආවෙ හීන් හුළගක කෙදිරිල්ලත් විදිහට වුණත් එයාට ඒ විස්තරය පාර හොයා ගන්න තරම් බොහොම පැහැදිලි සහ නිරවුල් එකක් වුණා. දැන් මේ දෙන්නා කදු, හෙල්, තැනි තලා මැදින් නුහුරු නුපුරුදු දුරු රටකට යනවා.ඔහොම සති දෙකක් විතර ගියාට පස්සේ කුමාරයට හීනෙන් පෙනිච්ච රටට එන්න පුළුවන්කම ලැබුණා.හැබැයි මේ රටේ ඔහු ටික දිනක් නවතින්න සිද්ධවෙනවා.මොකද හීනෙන් ඇවිත් සුරංගනාව නැවත දැනුම් දෙනතුරු ඔහුට බට කැළෑවට යන්න තහනම්.
කුමාරය නවතින්න තැනක් සොයමින් මේ අපූරු ගම පුරා ඇවිදිනව.ඒක හරි ලස්සනයි. ඒ වගේම පාළුයි.ඒත් කෙළවරේ කන්දක් උඩ ලස්සනම ලස්සන පුංචි පැලක් තියෙනව.ඒ පැලේ ඉන්නෙ වයසක අම්ම කෙනෙකුයි රූමත් දියණියකුයි.මේ දියණිය මායාකාරියක්.ඒ වගේම සංගීතයට බොහොම දක්ෂ කෙනෙක්.ඉතිං අපි අහල තියෙන අනෙක් සුරංගනා කතාවල වගේම කුමාරය ව බොහොම සාදරෙන් පිළි අරං නවාතැන් දෙනවා.ඒ වගේම ඇයට ඔහුගෙ ආදරයත් කෙටිකාලයකින්ම හිමි වෙනවා.හැබැයි මේ කුමාරිය සාමාන්‍ය මනුෂ්‍ය දුවක් නම් නොවෙයි.මායාකාරියක්. උඩින් නොපෙන්වුවත් ඇයගෙ අභ්‍යන්තරයෙ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ අමුත්තාගේ හදිසි පැමිණීම ලැන උපන් සැකය.ආදරය මගින් ප්‍රෙයා්ගකාරීව හේතු දැනගන්න උත්සහ කළත් ඇයට කිසිවක් දැන ගන්න ලැබෙන්නෙ නැහැ.ඒ කුමාරයා සුරංගනාවියට වූ පොරොන්දුව කඩ කරන්න තිබිච්ච අකමැත්ත හන්දයි.
ඉතිං ඔහොම දින කීපයක් ගෙවිලා යනවා.කුමාරයා ගමට ඇවිත් ගෙවිච්ච හත්වෙනි දවසෙ මධ්‍යම රාත්‍රියෙදි සුරංගනාවිය එක්වරම හීනෙන් පෙනී ඉන්නවා.ඇය කියනවා ඔහු තව දින දෙකකට පසු එළඹෙන බුධ දිනයේ මධ්‍යම රාත්‍රිෙය්දී බට කැළයට ආ යුතු බව.තාරකා ඔහුට මග පෙන්වන බවත් මේ ගමන සදාකාලික රහසක් විය යුතු බවත් ඒ පණිවිඩයෙන් වැඩිදුරටත් කියවුණා.ඉතින් ඔන්න කුමාරයා ඒ කිව්ව දිනයේ තාරකා වලින් පාර අසාගෙන ගමන යන්න පිටත් වුණා.අන්තිමට ඔහුට මුණ ගැහෙනවා නිල්ම නිල්පාට බට කැලෑවක්.ඒක හරි ගුප්තයි.නිහඩයි.ඒ වගේම ලස්සනයි.ඔහු ඇදින ගන්නවා ඒ හීනෙන් දුටුව බට කැලෑව කියලා. ටික වේලාවකින් මුලු අහසම ඒකාලෝක වෙනවා.ඒ තමයි තරු දහසක් පායන ලෝකෙ තියෙන සුන්දරම රාත්‍රිය.ඒ වෙලාවේ සුරංගනාව පෙන්වන හුදකලා නිල් පාට බට පදුරෙන් දණ්ඩක් කඩාගෙන කුමාරයා පිඹින්න ගන්නවා.ඔහුට එතනදි දායාද ලැබෙනවා මේඝ ගීතයනම් මේ ලෝකයේ තියෙන මිහිරිතම ස්වරය වැයීමේ භාග්‍යය.හැබැයි හැම භාග්‍යයකට පස්සෙම උදාවෙන අභාග්‍යයක් තියෙනවා.ඒ තමයි කීර්තිමත් අවස්ථාවකින් පසු නොගැලපෙන මිනිසුන් අප පසු පස හඹා ඒමේ ශාපය.මේ සිද්ධාන්තය කුමාරයටත් ඒ විදිහටම බලපෑවා. කුමාරයා නොදැන උන්නට අර ගෙදර හිටපු මායාකාර දියණිය ඔහු පසු පස ඇවිත් මේ සියල්ල බලාගෙන හිටියා.ඇය ට ඕන වුණේ හැමදාම හැම දෙයින්ම පළමුවැන්නා වෙන්න.
එකපාරටම අර තරු දහස නිවිලා සියල්ල සාමාන්‍ය තත්වයට පත්වුණා.මේ සිදුවීම තව කෙනෙක් දුටුව බව දැකල සුරංගනා බැල්මත් ඒ එක්කම නිසල වුනා. දැං කුමාරයා අදුරු වනයේ තනි වෙනවා. එයාගෙ හිතට දුකක් දැනුනත් එයා ඒ ගැන වැඩිදුර හිතන්න ගන්නෙ නැහැ.ජයග්‍රහණයකදී දැනෙන සාමාන්‍ය මත් බවත් එක්ක එයා අර හීං බට දණ්ඩ අරන් හෙමීට පිඹිනවා.එතකොට වාදනය වෙන්නෙ ලොව මිහිරිතම තනුව.ඒ තමයි මේඝ ගීතය.ඒ තනුව වැයෙන කොට අහසෙ නිල්පාට වළාකුළු සේරම ගැබ්බර වෙනවා.ඒකෙන් කැලැව තව තවත් අදුරු වෙනවා.නිල්පාට බට ගස් සර සර ගාලා සීතල සුළගින් හෙලවෙනවා.මේ සියල්ල දැකලා අනුන්ට හිමි විචිත්‍රත්වය තව දුරටත් දරා ගන්න බැරිව අර මන්තරකාර දියණිය බටනලාව හොරකන් කරන් කුමාරයව මරා දානවා.මරලා එයා කුමාරයගෙ මිනිය මන්තර බලයෙන් අරන් යනවා එයාගේ ගේ ළග තියෙන කදු මුදුනට ගිහං අශ්වයවත් මරනවා.මේ දෙන්නගෙ මලමිනී වලලන්නෙ කදු මුදුනෙ තිබුණු පුංචි ම පුංචි බට ගහක් පාමුල.ඊට පස්සෙ බොහෝ රාත්‍රී කාලවල මායාකාර කුමාරිය අර හොරකං කරපු බට නලාව අරං අරුම පුදුම බට කැළෑවට යනවා. එයා නිල්පාට හුදකලා බට පදුර ගාවට වෙලා බටනලාව වාදනය කරන්න පටන් ගන්නවා.ඒත් ඒ හැම දවසකම බට නලාවෙන් එන්නෙ වාදනයක් නොවන , පුහ් ...වගේ එක් අමිහිරි ශබ්දයක් පමණයි...මේ වෙලාවට අහසෙ එකදු තරුවක් වත් පායන්නෙත් නැහැ. පරිසරය දැඩි අදුරු සහ මූසල බවකින් පිරිලා. ඇය කණස්සල්ලට පත්වෙනවා.
දැන් මේ සිදුවීම් වෙලා දිගු කලක් ගෙවිලා ගිහින්.අර කුමාරය වළදාපු තැන බට පැලේ ලොකු බට පදුරක් වෙලා.ඒ බට ගහේ කොළවල තියෙන්නෙ දීප්තිමත් නිල් පාටක්.ඒ බට දඩු හැන්දෑ හුලගට එකට වදින කොට වාදනය වෙන්නෙ ලෝකෙ ලස්සනම තනුව...ඒක තමයි මේඝ ගීතය...
මේ අතරෙ කුමාරයා හොයන්න කුමාරයගෙ රටින් දූතයෝ කණ්ඩායම් වශයෙන් බෙදිලා ලෝකෙ හැම තැනම ඇවිදිනවා.ඒ ඇවිදින කොට ලෝකෙ අවසාන රට අහම්බෙන් වගේ ඔවුන්ට හමු වෙනවා. ඒ තමයි මේ අපූරු රට.ඒ වගේම අර අපූරු ගෙදරත් ඔවුන්ට මුණ ගැහෙනවා.එහි ඉන්නවා අර ලස්සන එහෙත් මායාකාර තරුණිය.ඇය ඉන්නෙ වියරුවෙන් මෙන් බට නලාවක් පිඹිමින්.ඒත් නිකුත් වන්නෙ පුස් ශබ්දයක්.මේ එන දූතයන්ට කොපමණ වෙහෙසුනත් කුමාරයා ගැන කිසිම ආරංචියක් ලැබෙන්නෙ නැහැ.ඔවුන් හරිම කණස්සල්ලෙන් ඉන්නකොට එකපාරටම ඇහෙන්න ගන්නවා මිහිරි වාදනයක්.ඒ වාදනය තමයි ලොව මිහිරිතම බටනලා වාදනය.එවැන්නක් කල හැක්කේ තමුන්ගෙ කුමාරයට පමණක් බව දන්න දූතයො දෙන්නා කන්ද මුදුනට ඇවිදං යනවා.එතකොට ඔවුන් දකිනවා දැවැන්ත බට පදුරක් ලතාවකට හුළගට වැනෙනවා.ඒ බට කොළ හා දඩු වැලපෙමින් කිසියම් කතාවක් තමන්ට කියන බව එක් නුවණැති දූතයෙක්ට වැටහෙනවා.ඔහුට ඇති වූ යම් සැකයක් මත අර මායාකාර ස්ත්‍රියව ප්‍රශ්න කරනවා.අවසානයේදී වී ඇති ඛේදවාචකය වටහා ගෙන ඉතාමත්ම දුකෙන් ඒ රටෙන් නික්ම යන්නෙ සිහිවටනයක් විදිහට අර බට පදුරෙන් දණ්ඩකුත් අරගෙන.
ඉතිං අද දවස වෙද්දි ඕනම රටක , ඔනම තැනක මේ බටගහෙන් ඉපදුණු ගස් අපට දකින්න පුළුවන්.තද හුළගට ,මද හුළට ටිකක් කන් දීල ස්වභාවික විධානයන් ළග නතරවෙන්න තරං විශ්‍රාමයක් ආත්මය පතුලෙ ඉතිරිවෙලා තියෙන වෙලාවක අපටත් අහන්න පුළුවන් මේ මේඝ ගීතය.. මේඝ ගීතයෙන් ඇත්තටම අපිට කියන්නෙ මොනවද?
හීන පසු පස ලුහු බදින්නන් කිසිදා තාරුකා එළි විස්වාස නොකළ යුතු බව සහ ආගන්තුක ලෝකයකදී ආදරයෙහි අන්ධ වීම වඩාත් භයානක බව.නිල් වළාවක් අදුරු ඉතිහාසක් එක්ක ගැබ්බර කරන්න පුළුවන් වෙන්නෙ තද හිරු එළීයට අවනත වීමේ ආත්ම ධෛර්යයක් තියෙන දිය බිදුවකට විතරයි. පොලවෙන් වාෂ්පවෙලා ,අහසින් කඩා වැටීම දක්වා වූ බිහිසුණු ක්‍රියාවලියකට මුහුණ දීල වැස්සක් විදිහට පොළව තෙමන්න පුළුවන් වෙන්නෙ මෙන්න මේ විශාල ඉවසීම සහ දරා ගැනීම කියන සංකල්ප දෙක ඇතුලෙ තියෙන වේදනාවටයි. .ඒ වගේ මහා දරා ගැනීමක් , වේදනාවක් සහ ධෛර්යයක් තියෙන අයගෙ රිද්මය හොරකං කරන්න හිතාගෙන සැකිල්ල මහපොළවෙ වළදැම්මට, ඒ ශක්තිය සදාකාලිකව යටපත් කරන්න කවදාවත් කාටවත්ම බැහැ. මියගිය තරුවක, මිලාන මලක, අහංකාර සුළගක හෝ කිළිටි දියබිදක ආත්මයක් ඇතුළට රිංගලා අලුත් කට හඩකින් කාටවත් නොකී රහසක් ලෝකෙට එළි කරන්න මේ අයට කවදාක හෝ පුළුවන්.කෙටියෙන් කිව්වොත් මිනිස්සු ස්වභාවිකත්වය දරා ගන්න තරමට මේ ලෝකෙ රහස් අඩුයි.


සර්පයාගේ දියණිය