ඔබ නැතිව ඔබ
එක්ක.
අවසන් අගය ආදරයයි.
අවසන් අගය ආදරයයි.
ආදරය
කියන්නෙ හරි පුදුම දේකට.ඒක කවදා කොතනකදි කොහොම උපදිනවද කොහොම මැරෙනවද කියන්න
කවුරුවත් දන්නෙ නැහැ. ආදරේදී මල මිනිස්සු ගණන් කරන එක හරිම අසීරු වැඩක්. ඇහිපිය
හෙලවෙන ,පපුව ගැහෙන එවුන්ගෙන් බාගෙට
බාගයක් මැරිලා. උන්ගෙ පපු කුහර ඇතුලට කන තියල බැලුවොත් ලබ් ඩබ් කියන හුරු පුරුදු
සද්දෙ වෙනුවෙට සිහින් කෙදිරිල්ලක් එක්ක ක්‍රමික විලාපයක් ඇහෙන්න පටන් ගනීවි.ඒව
ඇතුලෙ තියෙන්නෙ උන්ගෙ ඉතිහාසයත් එක්ක වර්තමානයෙ මිහිර විදින්න බැරි වීමේ කතාව. ඒත්
උන්ගෙ ඇස්වලට එබිල බැලුවොත් හිනාව පිරිලා ඉතිරිලා ගිහිල්ලා. ඉතිං කොහොමද අපි මේ
ලෝකෙ තේරුං ගන්නෙ. කැමූගෙ මහාමාරියෙ කිව්වා වගේ සංකල්පික රෝග ඉක්මනට වැලදෙනවා. ඒ
වගේම ව්‍යාප්ත වෙනවා. ඒක බෝවෙලා බෝවෙලා මුලු ලෝකයක්ම එකපාර අඩපණ කරන්න වගේම මරලා
දාන්නත් පුළුවන්. ඒක තනි පුද්ගල සංස්කෘතික ලෝකයක්ද එහෙමත් නැත්තං සාමුහික ප්‍රකෘතියක්ද
කියන එක නං මටත් හොයා ගන්න බැරි වුණා.
‘සුහද කොකා’ කමිං
සූන් කෑලි බල බල ඉන්න අස්සෙ නැන්දා කඩල වගයක් හපන්න පටං ගත්තා. ආයෙත් හින්දි
නළුවෙක් හිටු කියලා ගහ ගන්න පටං අරං. කෙල්ලට දුවගන්ට බැහැ ටයිට් ගවුම හන්දා. දුවන
ගමං සින්දුවකුත් කියන්ට තියෙන හන්දා ඒකි තවත් අසරණවෙලා. කොච්චර කෘෘර සමාජයක්ද?..
ඊ ගාවට ඔපෙල් එකෙයි හේමන්ත ටෙක්ස්ටයිල්ස් එකෙයි යට ඇදුම්
රාක්ක වගයක සමීප රූප රාමු වගයක්. මොනාද හොද බ්‍රෑන්ඩ් එක. මං කල්පනා කලා. අමන්තේ
හොදයි. ඒත් මිල වැඩියි. දැං ටිකක් විතර තෙහෙට්ටුයි. මං බාගෙට වකුටු වෙලා ඉදලා
පුටුවෙ හරි බරි ගැහුනා.ටිකක් වෙලා ගියා.වෛවර්ණ තිරය නිලට හුරු චාම් කලු පාටකටත්
ශබ්දයක් නැති සංකල්පනික අවර්ණ බවකටත් පෙරලුනා.බොහොම චාම් අකුරු වගයක් ශිල්ප හරඹයක්
නැතිවම තිරයෙ ඇදිලා මැකිලා ගියා.එහා පුටුවෙ හිටපු නැන්දා හයියෙන් හුස්මක් පහලට
ඇද්දා.
දැං
උකස් බඩු කඩේක තරුණ මුදලාලි කෙනෙක් කූඩුවක් වගේ පේන එයාගෙ කාර්යාල කාමරේ ඇතුළට
වෙලා බලන් ඉන්නවා. මට නං එයාව පේන්නෙ කවුරු හරි ගෙදෙට්ට එනකල් බුරන්න බලන් ඉන්න
බල්ලෙක් ගානට.ඒ තරමටම එයාගෙ ජීවිතේ යාන්ත්‍රිකයි. යකඩ කූඩුව අස්සෙන් එක එක තාලෙ
මිනිස්සු එබෙනවා.ඒ අයගෙ අත්වල තියෙනවා ජීවිතෙන් වෙන් කර ගත්තු ස්මරණ. ඒව රත්තරන්.
කිරල බලල ලංසු තියල කීයක් හරි අතට දීල අනුන්ගෙ ජීවිතවල ස්මරණ එකතු කරන එක මිනිහගෙ
රස්සාව. ඔහු හරි නිශ්ශබ්දයි. ඒත් ඔහුගෙ නිශ්ශබ්ද බව ඇතුලෙ තියෙන්නෙ පුදුමාකාර
තිගැස්මක්.
මුවෙක්
වගේ ඇස් දෙකක් තියෙන සැලෙන දෙතොලින් යුක්ත තරුණියක් උගස් බඩු කඩේ යකඩ කූඩුවෙන්
එබෙනවා.ඇගේ ඇතේ තියෙනවා පුංචි කරාබු දෙකක්. ඊ ගාව දවසෙ මුකුර්තියක්. තවත් දවසක Nokia
1100 වර්ගයේ සෙල්ෆෝන් එකක්.
‘මං ගන්නෙ රත්තරං විතරයි. ඒත් මං ඔයාට සල්ලි දෙන්නම්.
තියෙන වෙලවක දෙන්න.’
ඇය
සෙල්ෆෝන් එක අරං ආපහු හැරිලා යනවා. උකස් බඩු කඩේ පුවරුවට උඩිං තියෙන ජනේලෙ හයි
ඈන්ගල් (High Angle) එකකින්
පේනවා.‘සෙන්ට්‍රල් උකස් බඩු වෙලෙන්දෝ’ බෝඩ් එකට උඩින් පේන්නේ ශ්‍යාම් (ශ්‍යාම් ප්‍රනාන්දු) ගේ
මුහුණ. ඔහුගෙ ජීවිතෙත් කොහේටද සින්න වෙන්න යනවා වගේ. ඈත පදිකය දිගේ දුවමින් යනවා
අර මුවෙක් වගේ ඇස් තිබිච්ච මේ මොහොතෙ ශ්‍යාම් ළඟ සින්න කරන්න කිසිම දෙයක්
නොතිබිච්ච තරුණිය. අපි ඇයට සෙල්වි කියමු.(අංජලී පාටලී). සෙල්වි ආපහු එන්නෙ පුංචි
රත්තරං පෙන්ඩන් එකක් අරං. ඒකත් ඔහු ගාව සින්න වෙනවා. තමන්ගෙ ජීවිතේ සේරම සිහිවටන
උකස් බඩු කාරයට සින්න කරපු සෙල්වි වේගෙන් වේගෙන් මිනිස් ගංගාව අස්සෙ මැකිලා යනවා.
උකස්
බඩු කඩේ කෙරුවාවට පස්සෙ ඔහු කැමති රෙස්ලින් බලන්න. ඒත් මේ තඩි මිනිසුන්ගෙ ශාරීරික
පොරය පරද්දන පොරයක් එක්ක ඔහු දුක් විදිනවා. ඔහුට ඒකෙන් මිදෙන්න ඕන වෙලාවට ඈත
ජනේලෙත් එක්ක පේන නිල්පාට තේ කෑල්ල දිහා ඔහේ බලං ඉන්නවා.
‘මට ඔයාගෙ ඇස් වලින් තොල් වලින් පේන්නෙ ගින්දර..’ඒ ශ්‍යාම් ගෙ පපුවෙ සද්දෙ.
‘ඔයාට එහෙම පේන එක පුදුමයක් නෙමෙයි. මගේ ඇතුලෙ තියෙන
ගින්දර ඔයාට පේන්නෙ නැහැ.’
ඒ
නුහුරු සිංහලෙන් ගැහෙන සෙල්විගෙ පපුව. කන තියල බැලුවම හැම මිනිහෙක්ගෙම පපුවෙන්
එන්නෙ එකම කුරු කුරු සද්දෙ වුණත් ආදරයේ භාෂාව මොන තරං වෙනස්ද?
සෙල්වි
දුවගෙන දුවගෙන යන්නෙ කොහේටද? විස්තාරික
දමිළ පවුලක් ලෑලි ගෙයකට කූඩු වෙලා. ඒ අය සෙල්විගෙ කවුද කියල මට නං හිතාගන්න බැහැ.
නෑයෙක්වත් කිසිම සම්බන්ධයක්වත් මේ පවුලෙ අයට සෙල්වි එක්ක තිබුණද කියන එක මම දන්නෙ
නැහැ.මට එහෙම එකක් පෙනුනෙ නැහැ. එයා උකස් බඩු කඩේට එයාගෙ ස්මරණ සියල්ල වරින් වර
සින්න කරලා ගෙදර ඉන්න වැඩිහිටි කාන්තාවක් අතට ඒ සල්ලි ගිහිං දෙනවා. ඒ ගෑනි ඒක
ගන්නෙ සෙල්වි දිහාවත් නොබලා.කට්ටිය රවුමට වටවෙලා බත් කමින් ටී.වී බලනවා.තමන්ගෙ
කදුලු උකස් කරලා සල්ලි වලට හරවලා ගෙනත් දීපු සෙල්වි බිත්තියට හේත්තු වෙලා බලං ඉන්නවා.එයාගෙ
පපුවෙ කුරු කුරුව නුහුරු සිංහලෙන් ඇහෙන්න ගන්නවා.
‘දවසින් දවස මම මගේ සිහිවටන උකස් කරනවා.’
****
අන්තිම දවසෙ ජප මාලය (Rosary) ට වටිනා කමක් දෙන්න බැරිව ශ්‍යාම් සෙල්විට ණයක් දෙනවා.
අන්තිම දවසෙ ජප මාලය (Rosary) ට වටිනා කමක් දෙන්න බැරිව ශ්‍යාම් සෙල්විට ණයක් දෙනවා.
‘උකස් බඩු කාරයෙක්ට හොදක් කර ගන්න දෙන්න.’ කොහොම හරි සෙල්වි ඒ ණය බාර අරන් නිශ්ශබ්දව පිටුපාලා
යනවා.ජප මාලය (Rosary) ප්‍රතික්ෂේප
වුණ හන්දද මන්දා සෙල්විගෙ ජීවිතේ සින්න කර ගන්න ශයාම් ට හිතෙනවා. එයා ඒ අහිංසක
තරුණිය ගැන වැඩිදුර හොයල බලනවා. එයා තීරණේකට එන්නෙ මෙන්න මේ හැගීමත් එක්ක.
‘එයා අසරණයි.එයාට අනාගතයක් නැහැ කියලා මට හිතුණා.’
ඇත්තටම
මෙහෙම හැගීමක් එක්ක ආදරයක් පටන් ගත්තම කොයි තරම් ගැඹුරු ආදරයක වුණත් අධිපතිකම් ආක්‍රමණශීළීත්වයන්
කොයි මොහොතක හරි ඇති වෙන්න පුළුවන්.අනෙක සෙල්වි ශ්‍යාම්ගෙ ජාතියට වෛර කළා. ඇයව
නාකි මිනිහෙක්ට බන්දලා දෙන්න හදද්දි ශ්‍යාම් ඇයට කැමැත්ත දීලත් ඇය නිහඩව
ඉන්නවා.ඒත් ඇයගෙ යටි හිත අවදි වෙන්නෙ මෙන්න මේ විදිහට.
‘මට ඔයාව දැනුනෙ මාව බේර ගන්න ආපු හීරෝ කෙනෙක් විදිහට.ඒත්
මං ඔයාගෙ ජාතියට වෛර කළා. ’
ඉතිං
කොහොම හරි ශයාම් සෙල්විව බඳිනවා.එකපාර මැරෙනවට වඩා ටිකෙන් ටික මැරෙනවා වගේ
විකල්පයකට සෙල්වි ආවෙ.එයා මේ මොහොත වෙනකල් ශ්‍යාම්ට ආදරේ කලේ නැහැ.ඒත් ආවස්ථික
පිරිවැයක් තිබුණා විකල්ප දෙකක් අතරෙ.නාකියද? සිංහලයද? කියන එක.
කොහොම
හරි මේ දෙන්නා කසාද පොතේ අත්සන් කරලා මංගල ජායාරූපයක් ගන්නවා.කොච්චර ලංවෙන්න
හැදුවත් සෙල්වි හිටියේ ඔහුට දුරස් වෙලා. ලං වෙන්න කැමරා කාරයා කෑ ගැහුවා.ඇය මුවෙක්
වගේ ගැහි ගැහී ලං වුනා.හිනා වෙන්න. ආයෙත් කැමරා කාරයා කෑ ගහනවා.ඇය අමාරුවෙන් හිනා
වුණා.
සෙල්විගෙ
අතේ බෑග් එකක්.ඒකෙ තියෙන්නෙ එයාගෙ ඇදුම්. ටොමාස් ගෙ ගෙදරට තෙරේසා ( පියාපතක් වන්
ජීවිතයක්-කුන්දේරා) ආව පලවෙනි දවසෙ වගේ.සංස්කෘතික ගට්ටනයක් එක්ක මල්ල අතාරින්නෙ
නැතිව සෙල්වි හිටගෙන ඉන්නවා. මේ ඔයාගෙ සේසතද? ශ්‍යාම්
අහනවා.ඒ එක්කම ඔහු කියනවා මේ තමයි මගේ මාළිගාව කියලා.ඔවුන් දෙන්නගෙ ශාරීරික
එක්වීමෙ දර්ශනයෙදි මට හිතෙනවා සෙල්වි තව දුරටත් කරන්නෙ දරා ගැනීමක් කියලා.ඇය තෝරා
ගත්ත විකල්පය වෙනුවෙන් දරාගන්නවා.පහුවෙනිද උදේම නාන්නෙ ඒ සේරම සෝදලා දාන්න.ඒත් එයින්
පස්සෙ කෑම මේසයෙ දර්ශනයෙදි පේන්න ගන්නවා මැරිල හිටපු සෙල්වි ආපහු ඉපදිලා කියලා.
එදා ඉදන් තමයි ඇය ඔහුට ආදරය කරන්නෙ.
ආදරයෙන්
බැඳිලා ගැහැණියක් අවනත වෙන්න වෙන්න ඕනෙම සාමාන්‍ය පිරිමියෙක් කරනවා වගේම ශ්‍යාම්
ටිකක් විතර අධිපති වාදී වෙනවා.
‘දවසකට වියදම් කරන්න පුළුවන් රුපියල් 300යි.අපිට එතකොට පුළුවන් අර ඈත තියෙන තේ කෑල්ල ගන්න.’
ඔහු
ජනේලයෙන් එහා තේ යාය ඇයට පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි උකස් කඩේට ආව දමිළ කාන්තාවකට
අනුකම්පා කල වරදට නින්දෙන් නැගිට්ටලා පොඩ්ඩක් විතර සැරත් කරනවා. පිරිමි කැමතියි
ගැඹුරින් ආදරය කරලා අසරණ කමට චුට්ටක් විතර කොනිත්තන්න. ඒක ලෝබ කම නෙමෙයි. ආදරේ එක
ස්වරූපයක්.
මේ
අතර වාරයෙ ශ්‍යාම්ගෙ පරණ යාලුවෙක් ශ්‍යාම්ව හොයා ගෙන එනවා. එතනදි සෙල්වි දැන
ගන්නවා ශ්‍යාම් හමුදාවෙ හිටපු කෙනෙක් බව. ඇයගෙ නිහඩ අතීතය අපට නිරාවරනය නොවුනත්
මුවෙක් වගේ ඇය ආපහු ගැහෙන්න ගන්නවා.ඇයට එතැන තවත් රදන්න බැරිව නිහඩව ආපහු යනවා බස්
හෝල්ට් එකට. ශ්‍යාම් ඉවෙන් වගේ එතනට යනවා. ඒත් සෙල්වි බයික් එකට නගින්නෙ වෙනද වගේ
ඔහුව බදාගෙන නෙමෙයි. පැත්තට හැරිලා වාඩි වෙලා.ඒ වෙලාවෙ ශ්‍යාම්ගෙ යටි හිත මෙන්න මේ
විදිහට කෙදිරි ගානවා.
‘ඔයා ආපහු ඇවිල්ල වාඩි වුණාම මං හිතුව ඔයා සේරම අමතක කරල
මාත් එක්ක ආවයි කියල.ඒත් මං ඔයාගෙ දැකල තියෙන්නෙ මං දකින්න කැමති දේවල් විතරයි.’
‘මං දෙමළ.මට ඔයාලව දැනෙන්නෙ වෙනම විදිහකට..ඔයාලා අපේ අයගෙ
රත්තරං බඩු මංකොල්ල කාපුවා....’
‘බැල්ලි...කට වහ ගනින්..මං නැත්තං උඹට ඔහොම කතා කරන්න
වෙන්නෙ නැහැ.’
මෙන්න
මේ දෙබස ගැන කවුද ලියලත් තිබුණ ප්‍රසන්නගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ මෙහෙම ඒවා
කියලා. මගේ පුද්ගලික මතය පුද්ගලයෙක්ගෙ හැසිරීම ගැන පූර්ව සැලසුමක් කවදාවත් ගන්න
බැහැ.නාකි හු.... දත් දාල කොන්ඩෙ ඩයි කරල කැන්දං ආවට පස්සෙ.... එහා ගෙදර රන්ඩුවකදි
මට ඇත්තටම එහෙම ඇහිල තියෙනව.ඒත් පහුවෙනිද එයාල එක්කාසු වෙලා පන්සල් යනවා.වැළද
ගන්නවා.හිනාවෙනවා.ඒක තමයි ජීවිතේ කියන්නෙ.ඉතින් ජීවිතේ ගැන කතා කරන චිත්‍රපටයක
වුණත් නිශ්චිත රාමුවක් හෝ අවසානයක් හොයන එක තේරුමක් නැති වැඩක්. මනුස්ස ජීවිතේ ඕනම
දෙයක් ඕනම විදිහකට සිද්ධ වෙන්න පුළුවන්..
සෙල්විට
අයෙමත් තමන්ගෙ අතීතයෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඇය දූෂනය කියන වචනයට හරි බයයි. මුල්
දවසෙ ශ්‍යාම් එක්ක හිටියෙත් මුවෙක් වගේ ගැහි ගැහී. වේදනාව දරාගෙන. ඇය අපට තවමත්
නොකියපු කතාවක් තිබුණා.හැමෝම ගාව ඒ වගේ දරා ගැනීම් නොකීව කතන්දර අනන්ත
තියෙනවා.සෙල්විත් ශ්‍යාම්ට කිව්වෙ භාගයයි. ඒ හමුදාවෙන් එයාව බේර ගන්න ගිය මල්ලිලාට
වෙච්චි දේ විතරයි. ඒත් මට හිතුනා එයා එයාට වෙච්ච දේවල් අපට හැංගුවද කියලා.එදා ඉදන්
ශ්‍යාම් ළගට ආවත් සෙල්වි ගැස්සෙනවා.එයා මුවෙක් වගේ බයයි.උණෙන් ගැහෙන්න ගන්නවා.කවද
හරි ශයාම් ගන්න හිතං හිටපු තේ කෑල්ල දිහා බලං සිංදු කියනවා.හිමි වූනාට පස්සෙ
අධිපතිත්වයක් පෙන්නුවත් අහිමිවීම පේන්න පේන්න ශ්‍යාම් ආපහු මුලට එනවා.උකස් කඩේට
ආපු දෙමළ කාන්තාවගෙ තැල්ල බාර නොගෙනම ඇයට ලෝන් එකක් දෙනවා.දෙවියන්ට පින් දිදී යන ඒ
කාන්තාව දිහා ඔහු බලං ඉන්නවා..‘මං
සෙල්විට හෙට ඇත්තම කියනවා...’
***
‘හමුදාවෙ ඉදපු අපේ යාලුවො තුන්දෙනෙක් දෙමළ කෙල්ලෙක් දූෂණය
කරනවා.අන්තිමේ ඒකි මැරෙනවා.ඒකට සම්බන්ධ එක යාළුවෙක් තමයි ගාමිණී.මං එයාව බේර ගන්න
උසාවියෙදි බොරු සාක්කි කිව්වා.එයා මාත් එක්ක ඩියුටි හිටියා කියල.ඕක තමයි වෙන රහසක්
නැහැ.මං හමුදාවෙන් අස් වුනේ ඒකයි.මට ඕනෙ අලුත් ජීවිතයක් ගොඩ නගා ගන්න.ඒකට ඇයිමට ඉඩ
දෙන්නෙ නැත්තෙ...’
ප්‍රතිමාවක්
වගේ නිහඩ ප්‍රතාපවත් ඒත් දෝංකාර දෙන පෙනුමක් තියෙන ශ්‍යාම් ගෙ ඇස් දෙකේ ලොකු කදුලු
ගුලි දෙකක්.සෙල්වි යටි උගුරෙන් කෑ ගහනවා. එයාව දරදඩු වෙනවා.ඒත් එයා උත්සහ කරනවා
නැවත අතීතයෙන් මිදෙන්න.
‘මං ඔයාට රිද්දුවා..’ඒ
සෙල්වි.
‘නෑ... මමයි ඔයාට රිද්දුවේ..’ ඒ ශ්‍යාම්..
මේක
හරියට වැස්සකට තෙමුණ මිනිහෙක් ඒකට හේතු හොයනවා වගේ දෙයක්.‘මම කුඩේ ගෙනිච්චෙ නැහැ.’ කෙනෙක් කියන්න පුළුවන්. ‘නැහැ..ඔයයි වැරදි.ඔයා පරක්කු වුනා..’ ඒ අනෙක් කෙනාගෙ මතය. කවුරුවත් වැස්සට දොස් කියන්නෙ
නැහැ.ඒ පාලනය කරන්න බැරි සමහර සංසිද්ධි වලට දොස් කියලා පලක් නැති නිසා. එතකොට
කරන්නෙ අපි අපිටම රිද්ද ගන්න එක.
‘මට සමාව දෙනව නං මං ඔයාට හොද වයිෆ් කෙනෙක්
වෙන්නං...අන්තිමට සෙල්වි කියනවා.තමුන් තෝර ගත්ත විකල්පය ඇතුලෙ පවතින්න ඇය තාමත්
උත්සහ කරනවා.ඇය ජීවිතේ මිට මොලව ගන්න මිට මොලව ගන්න ඒක ඇගෙන් ගිලිහිලා යනවා.
ශ්‍යාම්
අන්තිමටඋකස් බඩු කඩේ විකුනනවා.එයාට දැන් ඕන සෙල්වි එක්ක ඉන්දියාවට යන්න.සෙල්විගෙ
අම්ම තාත්තව හොයල දෙන්න.ඒත් ඒ අය හොයල පලක් නැති වග සෙල්වි දන්නවා. එයා නිසලව
ඉන්නවා.ශ්‍යාම්ම් යනවා එයාර් ටිකට් අරං එන්න.
ආපහු
අර හයි ඈන්ගල් එක.‘සෙනට්‍රල් උකස් කරුවෝ’ බෝඩ් එකට උඩින් ජනේලෙ මැද්දෙ නිල් පාට සල්වාරියක්
ඇදගනිපු සෙල්වි.එයා ටික ටික ජනෙල් පඩිය උඩට නගිනවා.දැන් එයා හරි
ලස්සනයි.සුරංගනාවියක් වගේ ජනේලෙ මැද්දෙ හිට ගනිපු එයා එක පාරටම එතනින් පල්ලට
පියාඹනවා.ශ්‍යාම් උඩින් පියාඹන්න ටිකට් අරන් එන කොට සෙල්වි පහළට පියාඹලා ඉවරයි.
‘මං ඔයාගෙ හීන ගැන ඇහුවෙ නැහැ කවදාවත්.මට මගෙ හින වලට ඒව
හරස් වෙයි කියලා හිතුවා.’ ඒ ශ්‍යාම් ගෙ දෝංකාරෙ.
‘මට බාගෙට ආදරය කරන්න බැහැ.මට ඒනෙ වුනේ ඔයාට හදවතින්ම
ආදරය කරන්න.’ඒ සෙල්වි.
ශ්‍යාම්
ප්‍රනාන්දු ගෙ රංගනය මම දුටුවෙ පුදුමාකාර දෙයක් විදිහට.තිරයට ආගන්තුක මුහුණක්
වුණත් ඔහුගෙ අභිනය හරි දැවැන්ත විදිහට ආත්මයට කා වදිනවා. කලාතුරකින් ඇහෙන ඔහුගෙ ප්‍රතාපවත්
කට හඩත් එහෙමයි.අංජලීගෙ නම් මුහුණෙ ඉරියව් ඇතුළෙ සියල්ලම ලියවිලා තිබුණා.අලුතින්
කියන්න දෙයක් ඇයට ඉතිරිවෙලා තිබුණේ නැහැ.ඒ මුහුණ හරියට පින්තූර පිරිච්ච කතන්තර
පොතක් වගෙයි. පිටුවෙන් පිටුව පෙරලෙද්දි පින්තූරෙ පාට හැඩය වෙනස් වෙනවා. ප්‍රසන්න ඒ
මුහුණු දෙකේ කදුලු දොවලා එක එක තැන් වල තියලා අපෙන් අහනවා කදුලු වල පාට මොකක්ද
කියලා. රතු පාට පසු බිමක තිබ්බම මට ඒ කදුලු කැට දෙක පේන්නෙ ලේම ලේ පාටට.නිල් පාට
පසු බිමකදි නිල්ම නිල් පාටට.පසු බිමක් නැති තැනකදි අවර්ණව.ඉතිං මං අසරණ
වෙනවා.ඇත්තටම ලං කර ගන්න මිනිස්සුන්ට වඩා අපිට ආදරය කරන්නෙ හැර ගිය මිනිස්සු.ඒ අය
එක එක විදිහටඅපිව හැර යනවා.සෙල්වි පාතට පියෑඹුවා.තවත් සමහරු වෛරක්කාරයො විදිහට
පෙනී ඉන්නවා.තවත් අය වෙන විකල්ප තෝරන් හිනා වෙලා වගේ ඉන්නවා. ඒත් අත්පත් කර ගැනීමට
එහා දෙයක් අත් හැරීම තුළ ඉතිරි වෙනවා.
මං
ඇමිටි එකෙන් එළියට බැහැලා නැන්දගෙ අතින් අල්ලං පාර මාරු වෙනවා. හිතේ මොකක්දෝ ලොකු
බරක් ඉතිරි වෙලා.මං හෙමීට ආපහු ඔලුව උස්සලා පාරෙං එහා පැත්ත බලනවා.මට පේනවා
ඇමිටියේ උඩ තට්ටුවෙ එල්ලපු ලොකු කටවුට් එක. සෙල්විගෙ ඇස් වල කදුලු බින්දුවට යටින්
ශ්‍යාම් හරි ලස්සනට හිනාවෙනවා. මං ගමන නතර කරල එයාල දිහා බලන් ඉන්නවා.ඒ දෙන්නට
පාතින් ‘අවසන් අගය ආදරයයි’ කයල ලියවෙච්චි පුංචි රතුපාට අකුරු වැලක් ලොකු කදුලු
පේලියක් එක්ක දිලිසෙනවා.
උපේක්ෂා නුවන්ශ්‍රීනි


